×

ධවල මන්දිරය නැවතත් මනුස්ස වාසයක් වන ලකුණු

ධවල මන්දිරයේ බිත්ති මත ලේ සහ කිළිටි පැල්ලම් තැවරූ ඇමරිකානු ඉතිහාසයේ බිහිවූ උන්මත්තකම ජනපති ට්‍රම්ප් වෙනුවට දැන් මනුස්සයෙක් එහි වාසයට පැමිණ සිටියි.


මෙවර ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාවේ කවරයේ ඡායාරූපය සැරසී තිබෙන්නේ ධවල මන්දිරය පවිත්‍ර කිරීමට පැමිණ සිටින ජෝ බයිඩන්ගේ රුවිනි.

බයිඩන් දැන් වැඩ භාරගෙන දින 4 කි. මේ සුළු කාලය තුළ බයිඩන්, ට්‍රම්ප්ගේ උමතු පරිපාලනය විසින් කළ බරපතළ වැරදි නිවැරදි කිරීමට මුල් ගල තබා තිබේ. තැබිය යුතු තවත් කොන්ගල් රාශියකි.

බයිඩන් පදවිප්‍රාප්ත වන දිනයේ ‘ඇමරිකාව සමරමු‘ “Celebrating America,” යනුවෙන් ඒ ප්‍රසංගය මෙහෙයවූයේ සුපිරි නළු ටොම් හෑන්ක්ස් විසිනි. ෆූ ෆයිටර්ස්, ජෙනිෆර් ලෝපේස්, ජෝන් ලෙජන්ඩ්, කේටි පෙරී, ඩෙමී ලොවාටෝ, බොන් ජෝවි, ලේඩි ගාගා යනාදී තරු රැසකින් පිරී ගිය ඒ ප්‍රසංග සභාව හෙයෙවද්දී ටොම් හෑන්ක්ස්ගේ දෙනෙත කඳුළින් පිරී ගිය ආකාරය, සැබෑ ඇමරිකානුවාගේ අපේක්ෂාව කුමක් වීදැයි පෙන්වා දෙයි.

ප්‍රසංගය ඇරඹුණේ බෘෘස් ස්ප්‍රින්න්ටීන් ගැයූ ‘අපේක්ෂාවේ සහ සිහිනයන්ගේ දේශය‘ Land Of Hope and Dreams ගීයෙනි. කෝවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රසංගයට සජීවී ලෙස සහභාගි වීමට අසමත් වූ කලාකරුවෝ රටේ නන්දෙස සිට සිය උපරිමය එයට මුසු කළ අයුරු අපූරු ය.

මේ සතුට, මේ උත්කර්ෂය, මේ ප්‍රහර්ෂය අපට එක හඬින්ම පෙන්වා දෙන්නේ, ඇමරිකානු පුරවැසියා, ට්‍රම්ප් නිසා කොතරම් නම් අපේක්ෂා භංගත්වයකට පත් ව සිටියේද යන්න මිස අන් දෙයක් නොවේ.

බයිඩන් ධවල මන්දිරයට පැමිණීම නිමිත්තෙන් පැවැත්වුණු ප්‍රසංගයේ අවසන් ගීතය ගැයුවේ කේටි පෙරී ය. ‘Firework‘ නමැති ඒ ගීය ගයද්දී ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් එකිනෙකාට තුරුල් වී සිය උරහිස්වලට උඩින් දිස්වෙන මල්වෙඩි දෙස බලා සිටියහ.

Joe and Jill Biden watched Katy Perry from the White House, with the fireworks reflected in the balcony windows (AFP)

‘ෂිට් හෝල් කන්ට්‍රීස්‘

ෂිට් හෝල් යනුවෙන් ට්‍රම්ප් අදහස් කළේ කුමක්දැයි එම වචනය දන්නෝ දනිති.

මෙයට හරියටම අවුරුදු 2 කට පෙර, එදා 2018 ජනවාරි මාසයේදී ට්‍රම්ප් හයිටි සහ අප්‍රිකානු රටවල් හැඳින්වූයේ ‘ෂිට් හෝල් කන්ට්‍රීස්‘ යනුවෙනි එසේ කීවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ගැන සෙනෙට් සභා සමාලෝචන රැස්වීමකදී ය.

එය “shocking and shameful” සහ “racist,” යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට ද පවසන්නට සිදුවිය. ඔහු සැබවින්ම හැසිරෙමින් සිටියේ උන්මත්තක පාපතරයෙක් ලෙස ය. ඔහු ජනපති පදවියට පත් වන්නට පෙරත්,  ‘කාන්තාවන් අසුවල් තැනින් අල්ලා ගත යුතු යැයි‘ සිතන ජාතියේ උන්මත්තක පාපතරයෙකු බව හෙළිවූයේ 2005 වසරේදී බිලී බුෂ් සමග පැවැත්වූ සංවාදයක හඬපටය ප්‍රසිද්ධ වීමත් සමග ය. Grab ’em by the pussy. You can do anything.‘‘ යැයි එදා ඔහු කීවේය. එදා පමණක් නොව, කවදත් ට්‍රම්ප් කාන්තාවන් විෂයෙහි හැසිරී තිබුණේ එසේ ය.

ඔහු නිතරම හැසිරුණේ අමු පිස්සෙකු සේ ය. ඔහු ඇමරිකාව දුටුවේ තමන්ට පිස්සු කෙළින්නට දෙවියන් දුන් වරමක් සේ ය. දැන් සති කිහිපයකට පෙර, අමු පිස්සෙකුගේ කතාව අසා එයට කඩා වැදුණු වල්මත් වූ අනුගාමිකයෝ පිරිසක්, කැපිටල් බිල්ඩිම කුඩු කරන්නට තැත් කළහ.

මේ පෙර ලකුණුවලට ඇමරිකානුවන් බිය වූ බව කිව යුතුමය. බොහෝ ප්‍රකට පුද්ගලයෝ ඇමරිකාව හැර දමා වෙනත් රටවලට ගියේ, ඇමරිකාව මනුස්ස වාසයට සුදුසු නැති බව හඟිමිනි. බියොන්සේ සහ බොහෝ ඇමරිකානු තරු, ලන්ඩන්වල ගෙවල් ගත්හ. ඇමරිකාවට යාමෙන් හැකි පමණ වැළකී සිටියහ.

පුරා වසර 4 ක් මුළුල්ලේ විකෘති පාලකයෙකුගේ උමතු ක්‍රියාවන් වාර්තාකරණය නමැති ආතතිය විඳි අප ද ඇතුළු ලොව පුරා මාධ්‍යවේදීන්ට ද ට්‍රම්ප්ගේ විගමනය කුඩා සැනසිල්ලකි. එදා 2016 වසරේදී ට්‍රම්ප් ජනාධිපතිවරණය ජය ගැනීමත් සමග ලොව පුරා අන්ත දක්ෂිණාංශික බලවේග පැටව් ගැසූ ආකාරය ඔබට මතකද? ලෝකයේ සෑම රටකම ට්‍රම්ප්වාදීහු පැටව් ගැසූහ. ලංකාවේ ද ‘ට්‍රම්පච්චි‘ලා බිහිවූහ. මෙනමින් ෆේස්බුක් පිටු ද වේ.

‘ක‘යන්නේ වෙස්මූණ

වෙනකක් තබා, ලෝක සිතියමේ පුංචි තිතක් පමණක් වන මේ ලංකාවේ ද ඇතැම් ජාතිවාදීහු, ඒ විශේෂණය ‘කැත‘ නිසා ජාති(ක)වාදීන් ලෙස සිය නාමය වෙනස් කරගෙන ජාතිවාදයම ඇවිස්සූහ. ආර්ය සිංහලයක් ගැනක් සිංහල බෞද්ධත්වය ගැනත්, ආර්ය සංස්කෘතියක් ගැනත් කතා කරන්නට පටන් ගත්හ. ලංකාවේ ඇතැම් ප්‍රකට දේශපාලකයෝ ද ‘ඕක තමයි ලෝකෙ යන පාර‘, ‘ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දේ කරන මිනිහෙක්‘, ‘අන්න මිනිස්සු‘ යනාදිය කියමින් පාරම් බෑහ. ඒ ‘ක‘යන්නේ වෙස්මූණ මගින් අප ව ද නිරන්තරයෙන් විවේචනයට බඳුන් කෙරිණි.

පෝක් සමුද්‍ර සන්ධියේ සිට ජිබ්‍රෝල්ටාව දක්වාම අලුත් රැල්ලක් සේ ඉපිලී ආ ජාති(ක)වාදය සෙමෙන් නමුත් දුර්මුඛ වනු ඇතැයි අපි සිතමු.

නමුත් මේ සියල්ල මධ්‍යයේ බයිඩන් බලයට පත් වන්නේ ඇමරිකානු පාලනයේ අඳුරුතම හෝරාවක බව දඅප කිසිවිටෙක අමතක කළ යුතු නැත.

ට්‍රම්ප් තවමත් එළියේ වීරයා ය.

ට්‍රම්ප් ගෙදර ගිය බව සැබෑ ය. නමුත් අප නිතර මතක තබාගත යුත්තක් ඇත. ඒ, ට්‍රම්ප් ගෙදර ගිය මුත් ‘ට්‍රම්පිසම්‘ හෙවත් ‘ට්‍රම්ප්වාදය‘ පැරදී ගෙදර නොගිය බවයි. එහි අවශේෂයන් ධවල මන්දිරය තුළ පමණක් නොව, වොෂින්ටනය පුරාමත්, මුළු රටේම සියලු අහුමුළුවලත් රැඳී තිබෙනවා ඇත. අළු යට ගිනි පුපුරු සේ ඒවා උඩු හුළඟට ඉව අල්ලමින් නැවත ඇවිලෙන්නට මාන බලනවා ඇත. එමගින් අවුළා දමනු ඇත්තේ, පසුගිය සිව් වසර පුරාම සිදුවූ ආකාරයට ඇමරිකාවේ පමණක් නොව, මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදයයි.

තවමත් ඔහුව වීරයෙකු සේ දකින්නෝ වෙති. තවමත්, ඔහුගේ රැළිවල නාසිවාදීන් දකින්නට ලැබේ.

අන්තවාදීන්ට නිසැකවම, ගෙදර ගිය ට්‍රම්ප්, තවමත් ‘එළියේ වීරයා‘ ය. එනිසා අපේ සටන ද මෙයින් අවසන් නොවේ. මන්ද, මේ වතාවේ බයිඩන් අසමත් වුවහොත්, ඇමරිකාවේ සුක්කානම නැවතත් පිස්සෙකු අතටම පත්වීම වැළැක්විය නොහැකි නිසා ය.

එනිසා 22 හැවිරිදි හාවඩ් කිවිඳිය, ඇමන්ඩා ගෝමන් බයිඩන් වෙනුවෙන් ප්‍රසංගයේදී කියූ ඉතා දිගු පැදි පෙළේ අවසන් පේළි කිහිපයෙන් මේ සටහන අවසන් කරමු.

In every known nook of our nation, in every corner called our country,
our people, diverse and beautiful, will emerge, battered and beautiful.
When day comes, we step out of the shade, aflame and unafraid.
The new dawn blooms as we free it.
For there is always light,
if only we’re brave enough to see it.
If only we’re brave enough to be it.

අපේ දේශයේ සෑම අස්සක් මුල්ලක් නෑරම, අපේ රට යැයි කියන තැන සෑම අස්සක් මුල්ලක් නෑරම,
විවිධත්වයෙන් පිරි, බැට කෑ අපේ සුන්දර මිනිසුන් ඉදිරියට ඒවි…
හරි දවස පැමිණි විට, නොබියව පිටවී සෙවණැල්ලෙන් – ගිනි දැල්ලෙන්
අප එය නිදහස් කරන විට නවෝදය පිපී දිලෙනවා
ආලෝකය හැම විටම ඇති නිසා..
එය දැකීමට තරම් අප නිර්භය නම් පමණක්..
එසේ වීමට තරම් අප නිර්භය නම් පමණක්..

[embedyt] https://www.youtube.com/watch?v=CdKdyemxbew[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි