×

පළමු විවාදයෙන් ට්‍රම්ප් පරාදයි – සිය දිවි නසාගන්නා විකටයෙකු බවට පත් වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතර පැවති Fox New ජනපති විවාදයෙන් ජෝ බයිඩන් කැපී පෙනෙන ලෙස ජය ගත්තේය.


විවාදයට පෙර අතීරණාත්මක ඇමරිකානුවන්ගේ හාස්‍යයට ලක් වූ ජෝ බයිඩන්, මෙහිදී සනාථ කර පෙන්වූයේ සිය ශක්තියයි. ඔහු ට්‍රම්ප් ව ඉතා පහසුවෙන් වැදගැම්මකට නැති කෙනෙක් බවට පත් කර දැමුවේය.

එය විවාදයක් නොවේ යැයි ද කෙනෙකුට කියන්නට පුළුවන. එයට හේතුව ඒ විවාදයේදී ට්‍රම්ප් සිය සුපුරුදු ලීලාවෙන් උත්සාහ ගත්තේ ආරම්භයේ පටන්ම ප්‍රතිවාදියාවට මඩ ගැසීමේ සහ අපහාස කිරීමේ වේදිකාවක් බවට පත් කරගන්නට ය. නමුත් හිටපු උප ජනාධිපතිවරයාට පැහැදිලි අරමුණක් තිබිණි.

විනාඩි 90 ක් (පැය එකහමාරක්) පුරා පැවති මෙම විවාදයේදී බයිඩන් තැන්පත් ලෙස පහර දුන් අතර, අපහාසයන්ට නොසැළී මුහුණ දුන්නා පමණක් නොව, අනාගත ජනාධිපතිවරයා වීමේ විභවය ද ප්‍රදර්ශනය කළ බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.

කුඩා කල සිට ගොත ගැසීමේ තත්වයකින් පෙළෙන සහ, පසුව එය බොහෝ දුරට සමනය කර ගෙන සිටින ජෝ බයිඩන් හට මේ විවාදයේ අවස්ථා කිහිපයකදී පමණක් වචන පැටලෙන ස්වභාවයක් දැකගත හැකි විය.

ට්‍රම්ප් මෙහිදී එල්ල කළ ප්‍රහාර අතර, බයිඩන්ගේ බාල පුත්‍රයා වූ හන්ටර් බයිඩන් විසින් චීනය සහ යුක්රේනය සමග වෙළඳ කටයුතුවල නිරත වී සිටීම ද, බයිඩන්ගේ මිය ගිය පුත්‍රයා වූ බීයු බයිඩන්ගේ ඉරාක හමුදා සේවය ද විය.

නමුත් මේ වැදගත් ප්‍රශ්නවලදී පවා ට්‍රම්ප් එම ප්‍රශ්න යොමු කළේ නොසැලකිලිමත් හා වෛරී ස්වරූපයකිනි. තමන් අතැති හමුදා වාර්තාවල සම්පිණ්ඩනයන් ඉදිරිපත් කරනු වෙනුවට හන්ටර්, යුක්රේනය සහ චීනයට පහර දීමට පමණක් ඔහු මෙම අවස්ථාව යොදාගන්නා බව පෙනුණේය.

බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශික අංශය ගැන අමතක කර දමා ‘‘මම තමයි ඩිමොක්‍රටික් පක්ෂය‘ (“I am the Democratic Party”) යැයි කියූ අවස්ථාවේදීවත් එයට දේශපාලනික ලෙස මුහුණ දෙන්නට ට්‍රම්ප් දැන සිටියේ නැත.

Black Lives Matter ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හටගත් නගරවල පුරපතිවරුන් සමග දුරකථන සංවාදවල යෙදුණේ දැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය යැයි බයිඩන්ට පැවසූ විට එයට මුහුණ දුන් බයිඩන් කියා සිටියේ තමන් මේ වන විට පත්වූ නිලධාරියෙකු නොවන බවයි.

බයිඩන් ඇමරිකාවේ නීතිය හා සාමය සුරැකීම ගැන කතා කළේය. එවිට ට්‍රම්ප් කළේ තමන්ගේ අපේක්ෂකත්වයට සහාය පළ කරන පොලිස් ආයතන කිහිපයක ලැයිස්තුවක් කියවීමයි! ඉන්පසු, බයිඩන්ට සහාය පළ කරන එවැනි නීතිය හා සාමය සුරකින ආයතන තිබේදැයි ඇසුවේය! බයිඩන් මෙවිට මදක් නිහඬ වූයේ, ඔහු නීතිසාධන නිලධාරීන්ගේ ඡන්ද පදනම දිනාගෙන නැති නිසා විය හැකි නමුත්, ඔහු රටේ නීතිය හා සාමය පිළිබඳ සිය ස්ථාවරය නොසැළී ඉදිරිපත් කිරීමට සමත් විය.

කවටයෙක් වූ හැටි

ට්‍රම්ප්ගේ අසාර්ථකභාවයන් විවාදයේ මුල පටන්ම දැකගත හැකි වූයේ ඔහු කවටයෙකුගේ තත්වයට පත්ව ඇති බව ජනතාවට අවබෝධ කරවමිනි. ඔහු ‘මේ කවටයා‘‘ යැයි ආමන්ත්‍රණය කළේ බයිඩන් ට ය. එ් අවස්ථාවේදී අන් කවරදාටත් වඩා ට්‍රම්ප් ව කවටයෙකු මෙන් දිස් වූ බව විදෙස් විශේලේෂකයන්ගේ මතයයි. නිසැකවම ඉදිරි දිනවලදී ඒ මොහොතේ විකටයෙකු ලෙස දිස්වූ ට්‍රම්ප්ගේ මුහුණ ඇමරිකානු කාටූනවල දැකගත හැකි වනු ඇත.

මෙයට පෙර ‘ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබුණේ ට්‍රම්ප් ඔහුගේ කොණ්ඩය සහ ඇහිබැම සකස් කිරීම සඳහා ඩොලර් 70,000 ක් වියදම් කර ඇති බවයි. නමුත් ට්‍රම්ප්ගේ පෙනුම කිසිසේත්ම පෞරුෂයෙන් යුක්ත එකක් නොවිණි. ඔහුගේ ඇඳුම පවා මනා ලෙස මැද තිබුණේ නැත. පසුගියදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළිකර තිබුණේ ගතවූ සති අන්තයේ ට්‍රම්ප් නින්ද නොයාම නිසා අධික ලෙස ඖෂධ ගෙන ඇති බවත්, එම නින්ද නොයාමට හේතුව ඔහුගේ බදු මුදල් ගැන හෙළි වීම නිසා බවත් ය. පැහැදිලිවම මේ විවාදයේදී ට්‍රම්ප් සිටියේ යහපත් මානසිකත්වයකින් නොවේ.

රිචඩ් නික්සන්ගේ යුගයේ පටන්ම ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෝ මෙම විවාදයේදී සිය පෙනුම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙති. 1960 වසරේදී ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා මෙම විවාදයට ඉදිරිපත් වූයේ කොතරම් ප්‍රසන්න පෙනුමකින්දැයි ඉතිහාසය පවසනු ඇත.

මෙම අඟහරුවාදා විවාදය මෙහෙයවනු ලැබුවේ ෆොක්ස් නිව්ස් හි ක්‍රිස් වොලස් විසිනි. ඔහු දැඩි සහ සාධාරණ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ප්‍රකට ය. නමුත් ඔහුට පවා මෙසේ කියන්නට සිදුවිය. ‘‘ඔබ දෙදෙනාගේම ප්‍රචාරණ ව්‍යාපාර යම් යම් සීමාවන්ට යටත් වෙලා තිබෙනවා. නමුත් අවංකවම ඔබ (ට්‍රම්ප්) එය කරන්නේ වඩාත් ගැටළුකාරී ලෙසයි‘‘.

වසංගතය මැද ට්‍රම්ප්, සෙනග ගැන දොඩවයි

‘‘සෙනග ඉන්නව නම් ඔබත් සෙනග ගෙනෙයි‘‘ ට්‍රම්ප් මෙසේ පවසන්නේ ට්‍රම්ප්ගේ රැළි සහ රැස්වීම්වල පිරී සිටින, මාස්ක් නොදමන බහුතරකින් යුක්ත සෙනග සහ බයිඩන්ගේ රැස්වීම්වල සාමාන්‍යයෙන් දැකගත හැකි, සමාජ දුරස්ථ නීති රකිමින් සාමකාමී ලෙස මුහුණු වැසුම් පැළඳගෙන සිටින ජනතාව පිළිබඳව ය. නමුත් මේ පහර එල්ල කිරීමේදී මේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන්නේ ඇමරිකානුවන් ලක්ෂ ගණනක් මරණයට පත් ව ඇති කොවිඩ් වසංගතය මධ්‍යයේ බව ඔහු සහමුලින්ම අමතක කරයි. ඔහු එය පවසන්නේ පුරාජේරුවක් ලෙස ය. එය ට්‍රම්ප්ගේ ඡන්ද පදනම දෙදරා දැමීමට ප්‍රමාණවත්, නොසැලකිලිමත් ප්‍රකාශයකි.

සුදු ආධිපත්‍යයට ආවඩයි

ඇමරිකාවේ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන සුදු අන්තවාදය, සන්නද්ධ කල්ලි සහ දක්ෂිණාංශික කල්ලි ගැන විමසූ විට ට්‍රම්ප් සිය දිවි නසාගත්තා සේ ය. ‘ප්‍රවුඩ් බෝයිස්‘ නමැති අන්ත දක්ෂිණාංශික කල්ලිය ගැන ඇසූ විට ඔහු පවසන්නේ ‘සීරුවෙන් සිටින්‘ කියා ය (“Proud Boys – stand back and stand by)!

ට්‍රම්ප් – ඇමරිකානුවන්ගේ නරකම ජනපති

අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති මෙම පළමු රූපවාහිනී විවාදයේදී විදේශ ප්‍රතිපත්තිය ගැන ප්‍රමුඛ ලෙස සලකා බැලුණේ නැත. එය දෙවැනි හෝ තුන්වැනි විවාදවලදී කරළියට එනු ඇත. නමුත් කොරෝනා වෛරසය පාලනය කිරීමේ දේශීය ප්‍රතිපත්තිය ගැන මෙහිදී ප්‍රශ්න කෙරිණි. ආර්ථිකය සහ වාර්ගික සබඳතා ගැන ප්‍රශ්න කෙරිණි. මෙහිදී ජෝ බයිඩන් කෙටි නමුත් ඉතාම පැහැදිලි සාරාංශගත කිරීමක් කළේය. ඔහු මෙසේ කීවේය.

‘‘ඔබ තමයි, ඇමරිකානුවන්ට එදා මෙදාතුර ලැබුණු නරකම ජනපති..‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි