×

පාඩුවේ රස්සාව කරන්න නොදෙන පංචමහා වදකාරයෝ

කාර්යාලවල සේවකයන්ගේ කාර්යක්ෂමතාවය අඩුවීමට බලපාන සාධකවලදී, ඔබ වැඩකරන්නේ කොහේද යන්න පමණක් නොව, ඔබ වැඩ කරන්නේ කා සමගද යන්න ද විශාල බලපෑමක් ඇති කරයි.


මෑතකදී සිදුකරන ලද මහා පරිමාණ සමීක්ෂණයකට අනුව (2018 Workplace Distraction Report) කාර්යාලයේ රැකියාව කිරීමේදී අවධානය කේන්ද්‍රගත වීම වළක්වා කාලය නාස්ති කරන ප්‍රධානතම බලවේග 5 ක් හඳුනාගෙන ඇත.

මෙයට අනුව, 80%ක් දෙනාගේ වැඩට බාධා වන්නේ (distract) තමන් සමගම සේවය කරන සහෝදර සේවක සේවිකාවන්ගේ කතාබහ නිසා ය. එය, අවධානයෙන් යුතුව සිය කාර්යය අඩුම කාලයකින් සිදු කිරීමට ඇති ප්‍රධානතම බාධකයයි. එකිනෙකා සමග කතා බස් කිරීම මෙන්ම මහ හඬින් දුරකථන ඇමතුම් ලබාගැනීම නිසා සිදුවන බාධාවන් ද මෙයට අයත් ය.

මේ අනුව, කාර්යාලීය සේවයට තිබෙන අංක එකේ බාධාව සේවකයන්ගේ කච කචයයි!

පහත තිබෙන්නේ එම ලැයිස්තුවයි.

  1. තමන් සමග සේවය කරන්නන්ගේ කතාබහ – 80%
  2. ඝෝෂාකාරී කාර්යාල පරිසරය (මෙයට ඡායාපිටපත් යන්ත්‍රවලින් නැගෙන හඬ ද ඇතුළත් ය) – 70%
  3. යම් වැඩක් කර අවසන් වීමට පෙර තවත් අලුත් වැඩක් කිරීමට නියම වීම – 61%
  4. නිතර නිතර පවත්වන රැස්වීම් – 60%
  5. සමාජ ජාල මාධ්‍ය – 56%

මෙහිදී සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 56%ක්ම පවසා තිබෙන්නේ එක් වැඩක් එක් අවධානයකින් යුතුව සිදුකිරීමට සමාජ මාධ්‍යවල අප්ඩේට්ස් පරීක්ෂා කිරීම හේතු වී ඇති බවයි.

වැඩ පරිසරය මෙම බාධකවලින් තොර කිරීම මගින් සේවකයාට මෙන්ම සේව්‍යයාට ද ප්‍රතිලාභ රැසක් අත් වේ. ඒ අතර ඵලදායීතාවය වැඩි වීම, උත්ප්‍රේරණය, ආත්ම විශ්වාසය, සහ රැකියා තෘප්තිය ප්‍රධාන ය.

Reuters Steve Marcus

Reuters Steve Marcus

‘ඕපන් ඔෆිස් ස්පේස්‘ හෙවත් විවෘත කාර්යාල අවකාශ මේ වන විට ලෝකයේ නව රැල්ලක් ලෙස ජනප්‍රිය වෙමින් තිබේ. නොවැසුණු, එනම් කාමර බිත්තිවලින් සම්පූර්ණයෙන්ම නොවැසුණු පරිසර තුළ කාර්යාලයීය මේස ස්ථානගත වීම මගින් එකිනෙකා සමග අන්තර්ක්‍රියා සිදුවීම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතුවක් සේ මෙතෙක් සැලකිණි. නමුත් මේ වන විට මෙවැනි කාර්යාලවල සේවය කරන්නන්, තමන්ට සිත එක් තැනක යොමුකර අවධානයෙන් යුතුව වැඩ කිරීමට අපහසු බවට පැමිණිලි කරමින් සිටින බව ද පෙනෙන්නට තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි