×

බටහිර බෙංගාලය මෝදිට අත තැබිය නොහැකි තැනක් බව සනාථ වෙද්දී මමතා බැනර්ජි නැවතත් මහ ඇමතිනිය බවට

ඉන්දියාවේ ආණ්ඩු බලය තීරණය කළ හැකි තරම් ප්‍රබලත්වයක් උසුළන බටහිර බෙංගාලය ඊයේ දිනයේ මමතා බැනර්ජි හට නැවතත් හිමි විය.


ඇය මේ වන විට 2011 සිට එක දිගට 3 වැනි වතාවටත් එහි මහ ඇමතිනිය බවට පත් ව සිටින්නීය.

මමතා බැනර්ජි ප්‍රධානත්වය උසුළන AITC හෙවත් TMC – ඕල් ඉන්ඩියා ට්‍රිනමූල් කොංග්‍රසය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන දිනයේ සියලු මාධ්‍යවල ඇස් ද යොමුව තිබුණේ බටහිර බෙංගාලය වෙත ට ය. මීම්ස් ගණනාවක් සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් සංසරණය විය. එයින් එකක දැක්වෙන පරිදි බටහිර බෙංගාල මැතිවරණය පැවැත්වුණු දාම පැවැත්වුණු ඇසෑම් ප්‍රාන්ත මැතිවරණයට ලැබුණේ අතිශය අඩු මාධ්‍ය අවධානයකි. කේරළ, තමිල්නාඩු සහ පුඩුචේරි ප්‍රාන්තවල මැතිවරණවලට ලැබුණු මාධ්‍ය අවධානය ද එසේම විය.

බටහිර බෙංගාල ප්‍රාන්තය තුළ මෙවර මමතා බැනර්ජිගේ TMC සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ BJP අතර දැඩි සටනක් පැවතිණි. කෝවිඩ් වසංගතය මධ්‍ය යේ පවා සිය ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යන බව සනාථ කර ගැනීමට තිබෙන දැඩි අවශ්‍යතාවය සමගින් නරේන්ද්‍ර මෝදි, බටහිර බෙංගාලය පුරා සිය අණසක පතුරවන්නට වෙහෙස වූයේ එය දේශපාලන බල කඳවුරක් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබීම ද පදනම් කරගෙන ය. ඉන්ඩියා ටුඩේ වැනි මාධ්‍ය විසින් අනාවැකි කියා තිබූ පරිදි මෙවර මමතා බැනර්ජිගේ පක්ෂය මෝදිගේ පක්ෂයට වඩා ආසන සුළු ගණනකින් හෝ පිටුපසට යාවි යැයි අපේක්ෂාවක් ද විය. අගමැති නරේන්ද්‍ර මෝදි, ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා සහ පක්ෂ සභාපති ජේපී නද්දා යන තිදෙනාම බටහිර බෙංගාලයේ මහා ජන රැළි පැවැත්වූහ.

වසංගතය මැද බටහිර බෙංගාලයේ මැතිවරණය පැවැත්වුණේ අදියර 8 කිනි. බල අරගලය පාර්ශවයන් 3ක් අතර බෙදී ගොස් තිබිණි. ඒ භාරතීය ජනතා පක්ෂය, මමතාගේ ට්‍රිනමූල් පක්ෂය සහ කොංග්‍රසයත් වාමාංශික පෙරමුණත් එක් ව සටන් වැදුණු සන්ධානය අතර ය. මෙම කොංග්‍රසය සහ වාම පෙරමුණ කේරළයේදී පස මිතුරන් සේ මැතිවරණයට ඉදිරිපත් වීම ද කැපී පෙනෙයි. නමුත් සතුරාගේ සතුරා මගේ මිතුරාය යන සංකල්පය යටතේ බටහිර බෙංගාලයේදී ඔවුන් එක්ව සටන් වැදීමට තීරණය කර තිබිණි.

බටහිර බෙංගාලයේ මැතිවරණ වේදිකාවේ උණුසුම් සහගත මාතෘකා බවට පත් ව තිබුණේ කෝවිඩ්-19 කළමනාකරණය, පුරවැසි නීති, ආගමික ධ්‍රැවීකරණය සහ අම්ෆාන් සුළිසුළඟයි. රැකියා උත්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ කාර්යක්ෂම මහජන සේවය වැනි සම්ප්‍රදායික මාතෘකාවලට ලැබී තිබුණේ තරමක අඩු තැනකි.

මෝදිට අත තැබිය නොහැකි ජන විවිධත්වයක්

භාරතීය ජනතා පක්ෂය හින්දුත්වාවාදය කරපින්නාගෙන යන බව නොරහසකි. එය ට බහුතර කැමැත්ත ලැබී ඇති බව ද සමස්ත ඉන්දියාව දෙස බැලූ විට පෙනේ. නමුත් බටහිර බෙංගාලය වෙනස් තැනකි. එහි සිටින්නේ බෙංගාලි ජාතිකයන් ය. එය කොමියුනිස්ට් ද නොවන, ජාතිවාදී ද නොවන ජනප්‍රියවාදී මාවතේ යන තැනකි. මුස්ලිම් ජාතිකයන් ද ප්‍රාන්තය තුළ සිටින බැවින් මුස්ලිම් විරෝධී බවක් ද ජනතාව තුළ නැත. බටහිර බෙංගාලය, අතීත ඉන්දියාවේ යටත් විජිත අගනුවරයි. නූතන ඉන්දියාවේ අගනගරය නවදිල්ලිය බවට පත් කර, එය ආර්ථික මර්මස්ථානයක් බවට පත් වන විට එහි පීඩනය සහ අව සැලකිල්ල බටහිර බෙංගාලයට ශේෂ විය. ඒ අනුව ඔවුන් තුළ සැලකිය යුතු මට්ටමකට ධනවාදයේ විපාක ගැන හැඟීමක් ද තිබේ. මේ තත්වය තුළ ප්‍රාන්තයේ නිර්මාණය වී තිබෙන්නේ හින්දුත්වවාදී නොවන,මුස්ලිම් විරෝධී ද නොවන, කොමියුනිස්ට් ද නොවන ජන සංකලනයකි. 1998 වසරේදී කොංග්‍රසයෙන් ඉවත් වී නව පක්ෂයක් පිහිටුවන මම්තා බැනර්ජි තුළ සැමදා ‘දිල්ලිය සතුරාය‘ යන මතය තිබේ. කොංග්‍රසයෙන් කඩාගෙන ආවත්, කොංග්‍රසය තුළ තිබූ මධ්‍යස්ථ මතවාදයන් ද බොහෝ දුරට ජනතා ප්‍රශ්න හමුවේ ප්‍රකට කරන්නට ඇය සිය නව පක්ෂය තුළ අමතක කර නැත. ඒ අනුව එක දිගට ජනප්‍රියත්වය රඳවා ගැනීමට සමත් වූ ඇය තුළින් ප්‍රකට වන්නේ පරිණත කාන්තා නායකත්වයකි. ඇගේ පක්ෂය තුළ විවිධ මතවාද දරන ජනතාව ආකර්ෂණය කර ගත හැකි කිසියම් දෙයක් තිබේ. මෝදිගේ ග්‍රහණය හමුවේ විපක්ෂයක් නැති තරමට ඉන්දීය දේශපාලනය එක් පසෙකින් දුර්වල වෙද්දී මම්තාගේ පක්ෂය තවදුරටත් ශක්තිමත් ලෙස පවතින්නේ මේ නිසා ය.

භාරතීය ජනතා පක්ෂය හුදෙක් තමන්ව ආරක්ෂා කරන (defensive) පිළිවෙතකට අවතීර්ණ වී සිටියදී මමතා බැනර්ජි සිටියේ ජනතා ප්‍රශ්න සමග ය. බටහිර බෙංගාල මැතිවරණයේ ක්‍රමෝපායික මහමොළය ලෙස සැලකෙන ප්‍රශාන්ත් කිශෝර් කියා ඇති පරිදි, මෙම මැතිවරණයෙන් පෙන්වා දෙන්නේ දේශපාලන ධ්‍රැවීකරණයට ද සීමාවක් ඇති බවයි. එය මමතා බැනර්ජිගේ ජයග්‍රහණයේ රහස ද වන බවයි.

ඒ අනුව මෝදි මෙම ප්‍රාන්තයෙන් පරාජය වීම අහඹුවක් නොවේ. අවසානයේ මෝදිට සිදුව තිබෙන්නේ මමතා බැනර්ජි හට සුබපතා පසෙකට වන්නට ය.

ඔහු බටහිර බෙංගාලය දිනාගැනීම කෙරෙහි මේ වතාවේදී කොතරම් අවධානය යොමු කර තිබුණේ ද යත්, වසංගතය හේතුවෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ පසුව ‘විජයග්‍රාහී රැළි‘ පැවැත්වීමෙන් වැළකෙන ලෙස ද සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

නොකැඩෙන ජන ප්‍රසාදයක්

මම්තා බැනර්ජි දැන් 66 හැවිරිදි ය. ප්‍රාන්ත වැසියන් ඇයව අමතන්නේ ‘අක්කා‘ වැනි තේරුමක් සහිත ‘ඩිඩී‘ යනුවෙනි.

ඉතිහාසය, ඉස්ලාමීය ඉතිහාසය, අධ්‍යාපනය සහ නීතිය සම්බන්ධයෙන් උපාධි ගණනාවක් ඇය සතු ය. බටහිර බෙංගාලයේ පරිසරය සුන්දර ලෙස තබාගැනීම සහ සරල දිවි පෙවෙත, තනි පාට ඉරි කිහිපයකින් යුක්ත හෑන්ඩ්ලූම් කපු සාරිය වැනි දෙයින් සංයුක්ත ඇය කොල්කොටාවේ ට්‍රැෆික් ලයිට්වලට රවීන්ද්‍රනාත් තාගෝර් ගී හඳුන්වා දීම වැනි ජන අවධානය දිනාගන්නා දේ ද කළාය. කාසි නස්රුල් ඉස්ලාම් කවියාගේ පද්‍යවලට ද ඇය රවීන්ද්‍රනාත් තාගෝර් ට සේම ඇලුම් කරයි. ඇය ද පද්‍ය, රචනා සහ නවකතා කිහිපයක කර්තෘ ද වේ. දක්ෂ චිත්‍ර ශිල්පිනියක වන මමතා බැනර්ජි වරක් සිය චිත්‍ර ප්‍රදර්ශනයෙන් මුදල් රැස් කර එය පක්ෂයට පරිත්‍යාග කළාය. සරල දිවි පෙවෙත සම්බන්ධයෙන් ද මමතා බැනර්ජි ප්‍රකට ය. වරක් ඇය දුම්රිය ඇමතිනියව සිටින සමයේ අතල් බිහාර් වජ්පායි ඇගේ නිවසට ගිය විට පුදුමයට පත් ව තිබෙන්නේ ඇගේ නිවස ගංවතුර කාලයට වතුර දමන සරල ගෙදරක් බව දැකීමෙනි. දැනටත් මමතාගේ මුල් නිවස ඒ ආකාරයෙන්ම පවතිනු දැකිය හැක. ‍

මමතා බැනර්ජිගේ පක්ෂය ‘හැම කෙනෙකුටම යමක් ඇති තැනක්‘ බවට පත් ව තිබෙන්නේ ඇය ද එවැනි කෙනෙක් වන නිසා විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි