×

බයිඩන්ගේ ජයග්‍රහණය සනාථ කරන්නට ට්‍රම්ප් ඩොලර් මිලියන 3 ක් වියදම් කළ හැටි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විස්කොන්සින් ජනපදයේ ඡන්ද ප්‍රතිඵලය කිසිසේත්ම පිළිගත්තේ නැත.


ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් වැඩි ඡන්ද 20,600 කින් ජයගත් බව ප්‍රකාශ වූ විට ට්‍රම්ප් නියෝග කළේ නැවත ඡන්දය ගණන් කරන්නට ය.

නමුත් අවසානයේ එයින් සිදුවුණේ බයිඩන් හට ලැබී තිබූ ඡන්ද ගණන තවත් 132 කින් වැඩි වීම පමණකි.

විස්කොන්සින් ජනපදයේ මිලවෝකූ කන්ට්‍රි දිස්ත්‍රික්කය එසේ නැවත ඡන්ද ගණන් කළ යුතු බවට ට්‍රම්ප් තරයේ කියා සිටි දිස්ත්‍රික්ක දෙකකින් එකකි. තවත් ඡන්ද 132 ක් බයිඩන්ගේ ජය මල්ලට එකතු වූයේ එහිදී ය.

නමුත් පරාජයක් පිළිගන්නට තරම් නිහතමානී බවක් නොපෙන්වන ට්‍රම්ප් මේ ගැන ද ට්වීට් කර තිබුණේ මෙසේ ය.

‘‘විස්කොන්සින් ඡන්ද නැවත ගණන් කිරීම, ගණන් කිරීමේ වැරදි සෙවීමක් නෙවෙයි. නීති විරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කළ අය ගැන සෙවීමක්. අපි හොර ඡන්ද ගණනාවක්ම හොයාගත්තා.. Stay tuned!

ව්‍යාජ කියාපෑම් සහ පුවත් ගැන නිරන්තර සෝදිසියෙන් පසුවන ට්විටර් විසින්, මෙම මැතිවරණ වංචාව ගැන ට්‍රම්ප් ගේ මේ ප්‍රකාශය ද මතභේදාත්මක බව රතු පාටින් ලකුණු කර තිබේ.

මෙම ඡන්දය නැවත ගණන් කිරීමෙන් සිදුවූ තවත් දෙයක් වූයේ, ගණන් නොකළ ඡන්ද ගණනාවක් තිබෙන බව තහවුරුවීමයි. එයින් අපේක්ෂකයන් දෙදෙනාගේම සමස්ත ඡන්ද එකතුව ඉහළ ගියේය. එනම්, ඡන්ද 640,000 ක් මෙහිදී ප්‍රකාශ වී තිබූ අතර, බයිඩන් ගේ ඡන්ද ප්‍රමාණය 257 කින්ද, ට්‍රම්ප්ගේ 125 කින් ද මෙහිදී ඉහළ ගියේය.

ඉහළ ගිය නමුත් අවසානයේදී නැවතත් ජය ගෙන සිටියේ බයිඩන් ය.

කෙසේ වෙතත්, ඡන්ද සුළු ප්‍රමාණයක් මෙලෙස අත්හැරී යාම ‘හියුමන් එරර්‘ හෙවත් ‘මනුෂ්‍ය වැරදීමක්‘ ලෙසට සාමාන්‍ය යෙන් සැලකේ. මේ බව එම ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි ක්ලැරී වූඩෝල්-වොග් ද තහවුරු කරයි.

කෙසේ නමුත් විස්කොන්සින් ඡන්ද යුද්ධය තවම අවසන් නැත. එහි දෙවැනි දිස්ත්‍රික්කය වූ ඩේන් කන්ට්‍රි හි ප්‍රතිඵලය තවම ලැබී නැත. මෙහිදී දැනට ට්‍රම්ප්, බයිඩන්ට වඩා ඡන්ද සුළු ප්‍රමාණයක්, එනම් ඡන්ද 68 ක් දැනට වාර්තා කරයි. නමුත් පරතරය විසි දහසක ද ඉක්මවා යන නිසා සමස්ත ප්‍රතිඵලය එයින් වෙනස් වේ යැයි අපේක්ෂා කළ නොහැකිය.

ට්‍රම්ප් මුලින් අදහස් කළේ මුළු විස්කොන්සින් ජනපදයේම ඡන්ද නැවත ගණන් කරන්නට ය. නමුත් එසේ කරන්නේ නම්, ඒ සඳහා අමතර ඩොලර් මිලියන 7.9 ක් වැය වන බව මැතිවරණ කාර්යාලය විසින් ට්‍රම්ප්ට දැනුම් දෙනු ලැබිණි. ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක් පමණක් තෝරාගැනුණේ, එම දිස්ත්‍රික්ක දෙකේදී ට්‍රම්ප්ට සෙසු ඒවාට වඩා වැඩි වාසියක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි.

නඩු දැමීමේ අපේක්ෂාව තවමත්

විස්කොන්සින් ජනපදයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට ද ට්‍රම්ප් අපේක්ෂා කරයි. නමුත් ඔවුන්ට ඒ සඳහා කාලයක් නොලැබෙනු ඇත්තේ අද දිනයේදී ජනපද බලධාරීන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවසන් වශයෙන් නිකුත් කරන්නට බලාපොරොත්තු වන නිසා ය.

ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවඩා සහ පෙන්සිල්වේනියා යන ජනපදවල ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ට්‍රම්ප් පැවරූ නඩු සියල්ල ද මේ වන විට ඉවත දමා තිබේ.

ඔහුගේ නීතිඥ කණ්ඩායමේ මූලිකත්වය උසුළන්නේ හිටපු නිව්යෝක් නගරාධිපති සහ ප්‍රබල රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වන රූඩි ගියුලියානි විසිනි. ඔහු පවසා තිබෙන්නේ පෙන්සිල්වේනියාවේ ඡන්ද ප්‍රතිඵලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යාමට අදහස් කරන බවයි.

ඒ අනුව ඇමරිකාවේ නොවැම්බර් 3 මැතිවරණයේ මනාප යුද්ධය තවමත් අවසන් වී නැති සෙයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි