×

බ්‍රිතාන්‍ය අගමැතිට ඉල්ලා අස්වන ලෙස බලපෑම් – රජමාළිගය කුණාටුවක!

පාර්ලිමේන්තුව කල් තබා නැති බවට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග බොරිස් ජොන්සන් හට යන එන මං නැති වී තිබේ.


බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්‍රමයට නව අර්ථයක් ගෙන දෙමින්, අගමැති බොරිස් ජොන්සන් විසින් සිදුකළ පාර්ලිමේන්තු වාරය සති 5කට කල් තැබීම නීති විරෝධී බවට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට දසතින් හඬ නැගෙමින් තිබේ.

මේ තත්වය තුළ බ්‍රිතාන්‍ය මහ රැජින මහත් අසීරුතාවකට පත්ව සිටියි.

ඊයේ ලබාදුන් ඓතිහාසික තීන්දුව මගින් බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය සිය සමාලෝචනය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුව කල්තැබීම ගැන පමණක් නොවේ. අධිකරණය, ව්‍යවස්ථාදායකය, ආණ්ඩුව සහ කිරීටය අතර ඇති සම්බන්ධතාවය ද එමගින් නව අර්ථනිරූපණයකට බඳුන් විය.

දේශපාලන විචාරකයන් පවසන්නේ බකිංහැම් මාළිගය මේ වන විට දේශපාලනික සුළි කුණාටුවකට හසු වී ඇති බවයි.

නමුත් බොහෝ බලවතුන් මෙන්ම රජ මාළිගය ද මේ වන විට කුණාටුවක් ඇතිවීමට පෙර එළඹෙන නිහඬතාවයේ ගිලී පවතියි. රජ මාළිගයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ‘මහරැජින ඇගේ අමාත්‍යවරුන්ගේ උපදෙස් මත ක්‍රියාකිරීම පමණක් සිදුකරන බව‘ ය. නමුත් ‘‘පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී පමණක් නොව බල රහිත බව‘‘ ද ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේය. එනම් සැබවින්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල් තබා නැත! නීතියට අනුව එවැන්නක් සිදුවී නැති හෙයින් පාර්ලිමේන්තුව කල් තබා නැති ලෙසට සැලකිය යුතු ය! මේ තත්වය රජ මාළිගයට වේදනාකාරී බවට සැක නැත.

‘‘පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී පමණක් නොව බල රහිත බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේය. එනම් සැබවින්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල් තබා නැත!

එයට හේතුව සරල බසින් කියන්නේ නම් මෙසේ ය. බ්‍රිතාන්‍ය මහ රැජින විසින් පුද්ගලිකව අනුමත කර තිබුණේ නීති විරෝධී සහ බල රහිත තීරණයකි!

තවද ඇය එසේ එකඟ වී තිබුණේ අගමැති බොරිස් ජොන්සන්ගේ පෙරැත්තය නිසා ය. තවද එසේ එකඟ වන විට පාර්ලිමේන්තුව තුළින්ම එසේ නොකකරන ලෙසට විශාල ජනමතයක් ගොඩ නැගී තිබූ බව ද ඇය හොඳාකාරවම දැන සිටියාය. මේ සිදුවීමෙන් අදහස් වන්නේ ඇයව පෙරැත්ත කිරීම හරහා නීති විරෝධී දේ සඳහා ද එකඟ කර ගත හැකි රාජ්‍ය නායිකාවක බව ද…?

හිටපු කන්සවේටිව් අගමැති ශ්‍රීමත් ජෝන් මේජර් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු පළ කළ අදහසෙන්ම බොරිස් ජොන්සන් විසින් මහරැජින දැමූ අමාරුවක තරම හෙළි වේ. ඔහු මෙසේ කියයි.

‘‘කිසිදු අගමැතිවරයෙක් මේ අන්දමින් නැවතත් කිරීටයට හෝ පාර්ලිමේන්තුවට තර්ජනය නොකළ යුතුය,“

ඔහු විසින් ප්‍රවේශමෙන් සහ අනුපිළිවෙළින් යුතුව වචන තෝරාගෙන ඇත. මුලින්ම ඔහු කිරීටය ගැන සඳහන් කරයි. නියම කන්සවේටිව් විලාසයක් මෙහිදී පළ කරන ඔහු පාර්ලිමේන්තුව ගැන සඳහන් කරන්නේ කිරීටයට පසුව ය. නමුත් ඔහු කියන කතාව ඇත්තකි. මහරැජින නමැති නිලයට බ්‍රිතාන්‍ය රාජ්‍ය තන්ත්‍රය තුළ ඇති වූ අවදානම ගැන ඔහු පසුවන්නේ අවබෝධයෙනි.

බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපැහැදිලි තැන් කොතෙකුත් තිබේ. දශක ගණන් මුළුල්ලේ දේශපාලකයන් අතර දික්ගැස්සෙන විවාද තිබේ. අලිඛිත නීති රැසක් තිබේ. සම්ප්‍රදායන් රාශියක් තිබේ. නමුත් මේ කිසිවකින් බ්‍රිතාන්‍ය කිරීටය ඉතිහාසයේ කවරදාවත් මෙතරම් අපහසුතාවයකට පත්ව නැත.

එය කළේ බොරිස් ජොන්සන් ය.

කිරීටයට ඇති බලයක් තිබේද?

මේ 21 වන සියවස තුළ නාමික කිරීටයකට බ්‍රිතාන්‍ය ස්වාධිපත්‍යයට කළ හැකි දෙයක් තිබේදැයි යමෙකු අසන්නට පුළුවන. බ්‍රිතාන්‍ය මහරැජින කිරීටය හිස දරා ගත්තේ රජ පවුලේ බලය පාලන තන්ත්‍රය තුළින් කෙමෙන් වියැකී යන අවස්ථාවක ය. සැබවින්ම ඇය විසින් මේ තාක් කල් හොබවා තිබෙන්නේ ප්‍රදර්ශනාත්මක සහ සංකේතාත්මක තනතුරකි. ඇගේ බලය ස්වාධීන නැත. ඇගේ පැවැත්ම, ආණ්ඩුවේ සෙවණැලි තුළ සීරුවට සැඟව සිටින තාක්කල් ආරක්ෂිතය. නමුත් බොරිස් ජොන්සන් නමැති හාදයා ඇයව සෙවණැලි තුළින් පිටතට ගෙනැවිත් ඇත. වෙනත් අයුරකින් පවසන්නේ නම් ඇය සැඟව සිටි සෙවණැල්ලට ගලක් ගසා ඇත. දැන් මුනිවත රැකීම හැර ඇයට කළ හැකි දෙයක් ද නැත. ඒ, දැන් කිරීටය වඩාත් අනාරක්ෂිත බැවිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි