×

‘‘බුද්ධි අංශ සමාලෝචන බයිඩන් හට ලැබිය යුතුයි‘‘ – රිපබ්ලිකන් සෙනෙට් සභිකයන්ගේ සහයෝගය බයිඩන් වෙතට

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගෙන සිටින ජෝ බයිඩන් හට පිළිගැනීම ලබා දෙන්නට බොහෝ රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් තවමත් මැලි කම් දක්වන බව නොරහසකි.


නමුත් ඔවුන් මේ වන විට හිටපු උප ජනාධිපතිවරයෙකු ද වන ජෝ බයිඩන් හට ධවල මන්දිරයේ බුද්ධි අංශ තොරතුරු සමාලෝචන ලබාදීම සම්බන්ධයෙන් සිය සහයෝගය පළ කරමින් සිටියි.

මේ සඳහා මූලිකත්වය ගෙන සිටින සෙනෙට් සභික ජේම්ස් ලැන්ක්ෆෝර්ඩ්, ජනපතිවරණයෙන් ජයගෙන සිටින ජෝ බයිඩන් හට ද බුද්ධි අංශ තොරතුරු සමාලෝචන ලබා දිය යුතු යැයි විශ්වාස කරන්නෙකි. ඔහු පැවසුවේ ධවල මන්දිරයේ සිදුවන පරිපාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කරන්නෙකු වශයෙන්, මේ ගැටළුව ගැන සලකා බැලීමට තමන් තීරණය කර ඇති බවයි. ෆෙඩරල් මූල්‍ය, කාර්යාල අවකාශය සහ සංක්‍රාන්තිය සම්බන්ධ සවිස්තරාත්මක සමාලෝචන ලබාදීමට නම් ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් විය යුතු බව ද මෙහිදී ජේම්ස් ලැන්ක්ෆෝර්ඩ් පවසා තිබේ.

මේ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන දෙදෙනාටම, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලැබෙන තෙක්ම ආරක්ෂක සමාලෝචන සහ බුද්ධි අංශ සමලෝචන ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.

ලැන්ඩ්ෆෝර්ඩ් පවසන ආකාරයට ට්‍රම්ප් විසින් බයිඩන්ගේ ජයග්‍රහණය නීතිමය වශයෙන් අභියෝගයට ලක් නොකර සිටියේ නම් මෙම යාන්ත්‍රණයන් බොහෝ සුමට වනු ඇත.

මේ වන විට සෙනෙට් බුද්ධි අංශ කමිටුවේ රිපබ්ලිකන් සාමාජිකයන් වන ජෝන් කොරින් (ටෙක්සාස්), ලින්ඩ්සේ ග්‍රහෑම් (සවුත් කැරොලිනා), චක් ග්‍රැස්ලි (අයෝවා), රෝයි බ්ලන්ට් (මිසූරි) සහ රොන් ජොන්සන් (විස්කොන්සින්) ද පවසා තිබෙන්නේ බයිඩන් හට බුද්ධි අංශ තොරතුරු ලැබිය යුතු බවයි.

‘‘මේ වෙලාවේදී මම හිතන්නෙ ඔහුට අනිවාර්යෙන් එම තොරතුරු ලබාදිය යුතුයි‘‘ යැයි ද රිපබ්ලිකන් සෙනෙට් සභික මයික් රවුන්ඩ්ස් කැපිටල් හිල් හිදී වාර්තාකරුවන් සමග කීවේය.

මේ දක්වා රිපබ්ලිකන් නියෝජිතයන් අතරින් ජෝ බයිඩන් හට සුබ පතා තිබෙන්නේ මිට් රොම්නි (උටාහ්), ලීසා මුර්කොව්සිකි (ඇලස්කා) සහ බෙන් සාසේ (නෙබ්‍රස්කා) යන අය පමණි.

නමුත් මේ වන විට සෙනෙට් සභාවේ සිටින රිපබ්ලිකන් පාක්ෂිකයන් විධිමත් යාන්ත්‍රණයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදයට හිස නැමීම සඳහා කෙමෙන් නැඹුරු වීම සාධනීය ලක්ෂණයක් වන්නේ විශේෂ හේතුවක් නිසා ය.

එනම්, මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා හට බුද්ධි අංශ තොරතුරු ප්‍රමාණවත් සහ අප්‍රමාදී ලෙස ලබාදීම, ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂාවට අතිශය වැදගත් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබෙන නිසා ය.

Main Photo: Sen. James Lankford, R-Okla., center, is among the Republican lawmakers supporting a push for President-elect Joe Biden to receive new intelligence briefings as part of his transition to the White House.
J. Scott Applewhite/AP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි