×

මුම්බායි ඉන්ඩියන්ස් පස්වැනි වරටත් IPL ශූරයන් වෙයි

අද පැවති ඉන්ඩියන්ස් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පස්වැනි වරටත් ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු පහකිනි.


පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය, ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ කල් දැමුණු අතර අවසානයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කෙරිණි.

මාස එකහමාරකට අධික කාලයක් තිස්සේ ඩුබායි, අබුඩාබි, සාජා ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් පැවති තරගාවලියේදී පළමු වරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය. එහෙත් ඉතිහාසය පුරා සාර්ථකම කණ්ඩායම වූ මුම්බායි කණ්ඩායම හමුවේ ඔවුන්ට අනුශූරතාවයෙන් සැනසීමට පත්වීමට සිදුව තිබේ. මෙවර තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක අවස්ථා හතරකදී තරග කළ අතර එම තරග හතරම ජය ගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වීමද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණය එතරම් සුබදායී නොවූයේ ලකුණු 22 ක් වනවිට ඔවුන්ගේ පළමු කඩුලු 03 ම දැවී යාම හේතුවෙනි. කෙසේ නමුත් නායක ශ්‍රෙයාස් අයියර් සහ රිශාබ් පන්ට් අතර සිව්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 96 ක සබඳතාවය හේතුවෙන් ඔවුන්ට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 156 ක් ලබා ගැනීමට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම් පන්දුවාර 18.4 කදී සිය ඉලක්කය සපුරා ගත් අතර තරගාවලිය පුරා එතරම් ලකුණු අතර නොසිටි නායක රෝහිත් ශර්මා අවශ්‍යම මොහොතේ ලකුණු 68 ක් ලබා ගැනීම කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය.

මුම්බායි කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග මෙවර තරගාවලියට සහභාගි නොවූ අතර ඔහු නොමැතිව මුම්බායි කණ්ඩායම ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.

මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර ගණනාවක සිට, හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කටයුතු කරන අතර මුම්බායි කණ්ඩායම දිනාගත් ශූරතා පහෙන් තුනක්ම මහේලගේ පුහුණුකාරීත්වය යටතේ දිනා ගැනීම ද විශේෂත්වයකි.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ එකම ක්‍රීඩකයා වන ඉසුරු උදාන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකට සහභාගි විය. කෙසේ නමුත් ඔහු කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අසමත් වූ අතර ඔහුගේ කණ්ඩායමට අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමටද නොහැකි විය.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි