×

යෝගට් කන්නේ බලාගෙනයි!

බ්‍රිතාන්‍යය වෙළඳපොළේ ඇති යෝගට්වල අධික සීනී ප්‍රමාණයක් අන්තර්ගත බව පර්යේෂණයකින් තහවුරු වේ.


පර්යේෂණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ විද්වතුන් පිරිසකි. ඔවුන් පෙන්වා දෙන අන්දමට “කෝලා” වර්ගයේ බීමවල අඩංගු සීනී ප්‍රමාණයට වඩා වැඩි සීනී ප්‍රමාණයක් යෝගට්වල අඩංගුය. කාබනික යෝගට් නමින් නම් කර ඇති යෝගට්වල පවා සීනී වැඩිපුර ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. විද්වතුන් මේ නිගමනයට එළඹ තිබෙන්නේ බ්‍රිතාන්‍යය වෙළඳපොළේ ඇති විවිධ වර්ගයේ යෝගට් 900කට අධික සංඛ්‍යාවක අන්තර්ගත සීනී ප්‍රමාණ පරික්ෂා කර බැලීමෙන් අනතුරුවයි. යෝගට්වලට යොදන සීනී ප්‍රමාණ අඩු කිරීමට බ්‍රිතාන්‍යය සෞඛ්‍යය බලධාරීන් යෝගට් නිෂ්පාදකයන් දිරි දීමෙන් පසුව ඇතිවුණු වෙනස සොයා බැලීමේ අරමුණෙන් උක්ත පර්යේෂණය සිදු කෙරුණු බව සඳහන් වේ.

වර්ග කිහිපයක යෝගට් බ්‍රිතාන්‍යය වෙළඳපොළෙහි දක්නට පුළුවන. අතුරුපස සඳහා භාවිතයට ගැනෙන යෝගට් (Desserts), කාබනික යෝගට් (Organic), රස කවන ලද යෝගට් (Flavoured), පළතුරු යෝගට් (Fruit), ළමයින් සඳහා පිළියෙළ කළ යෝගට් (Children’s), “ඩෙයරි ඕල්ටර්නේටිව්ස්” වර්ගයේ යෝගට් (Dairy alternatives), යෝගට් පානය (Drinks) ස්වභාවික සහ ග්‍රීක යෝගට් (Natural and Greek) යනු එයින් වර්ග කිහිපයකි. අතුරුපස සඳහා ගන්නා යෝගට්වල වැඩි සීනී ප්‍රමාණයක් තිබෙන බව පර්යේෂකයෝ පවසති. ඒ අනුව අතුරුපසට ගන්නා යෝගට් ග්‍රෑම් 100ක සාමාන්‍යයෙන් සීනී ග්‍රෑම් 16.4ක් පවතින බව සොයා ගැනිණ. පළමුව කී යෝගට් වර්ග ලැයිස්තුවෙන් දෙවැනි තැනට වැඩි සීනී ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන්නේ කාබනික වර්ගයේ යෝගට්වල ය. එම යෝගට් ග්‍රෑම් 100 සීනී ග්‍රෑම් 13.1ක් අඩංගු බව අනාවරණය වී ඇත. ළමයින් සඳහා නිෂ්පාදිත යෝගට් ග්‍රෑම් 100 සීනී ග්‍රෑම් 10.8ක් අඩංගු ය. එසේ වුවත් “කෝලා” වර්ගයේ බීම ග්‍රෑම් 100ක තිබෙන්නේ සීනී ග්‍රෑම් 9ක පමණ ප්‍රමාණයක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

බ්‍රිතන්‍යය රජයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වයස අවුරුදු 4ත් 6ත් අතර වයස් ඛණ්ඩයේ පසුවන දරුවන්ට දිනකට සීනී ග්‍රෑම් 19කට වඩා ගැනීම සුදුසු නැති බවකි. වයස අවුරුදු 7ත් 10ත් අතර දරුවන්ට ගැනීමට අනුමත කර තිබෙන්නේ දිනකට සීනී ග්‍රෑම් 24කි.

බ්‍රිතාන්‍ය වෙළඳපොළේ ඇති යෝගට්වල අඩංගු සීනී ප්‍රමාණයන් ගැන වඩාත් තදින් සොයා බැලීම ආරම්භ වුණේ 2016 වසරේදී පමණ ය. යෝගට් නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමෙන් වසරකට පසුව කරන ලද සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ වෙළඳපොළේ ඇති යෝගට්වල අඩංගු සීනී ප්‍රමාණයන් 6%කින් පමණ පහළ බැස ඇති බවකි. මේ ප්‍රවණතාව 2020 වනවිට 20%ක් දක්වා ඉහළ නංවා ගැනීම බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ මීළඟ වෑයමයි.

https://www.bbc.com/news/health-45565364



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි