×

ලංකාවට නුදුරින් ගිනිගන්නා තෙල් බැරල් මිලියන 2 ක් සහිත නෞකාව- මහා පරිසර විනාශයක් අත ළඟ ද?

පැනමාවේ ලියාපදිංචි කළ, තෙල් බැරල් මිලියන 2 ක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මේ වනවිට ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ ගිනි ගනිමින් තිබෙන අතර, එය ඕනෑම මොහොතක අති දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකිරීමේ අවදානමක පවතියි.


මෙය, කුවේටයේ සිට පැමිණි බොර තෙල් සහිත New Diamond – නිව් ඩයමන්ඩ් නමැති නෞකාවයි.

කුවේටයේ සිට ඉන්දියාවේ පරදීප් පිරිපහදුව වෙත ගමන් ගනිමින් සිටියදී නෞකාව අනතුරට ලක්ව ඇති අතර, මේ වන විට නෞකාවේ එක් අන්තයකින් දුම් නගිමින් තිබේ. මීටර 2 ක පමණ පිපිරීමක්/පළුද්දක් ද එහි දක්නට ලැබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක ඉන්දික ද සිල්වා ප්‍රකාශ කරන්නේ එන්ජින් කාමරයේ ගිනි ගැනීමක් හටගත් අතර, ඉන්පසුව පිපිරුමක් සිදුවූ බවයි.

එම පිපිරුම බොයිලේරුවේ හටගත් ගින්නක් නිසා සිදුවූ බවත්, අනතුරින් පිලිපීන ජාතික නැවියෙකු මියගිය බවටත් වාර්තා තිබේ. කපිතාන්වරයා හැර නෞකාවේ සිටි සෙසු නාවිකයන් 23 දෙනා මේ වන විට මුදාගෙන තිබේ.

ගින්න පසුව නෞකාවේ සෙසු කලාපයන්ට ද ව්‍යාප්ත විය.

නෞකාව ගිනි ගැනීමට ලක් වූයේ ලංකාවේ නැගෙනහිර වෙරළට කිලෝමීටර 65 ක් (සැතපුම් 40)ක් නුදුරින් තිබෙන විට ය.

තෙල් විසිරීම ඕනෑම මොහොතක විය හැකියි?

අද දිනය වන විට වාර්තා වන්නේ නැව ගිනි ගැනීම නිසා අස්ථාවර වී ඇති බවටත්, ටිකෙන් ටික ශ්‍රී ලංකා වෙරළ වෙත ඇදී එමින් පවතින බවත් ය. නෞකාවේ පිපුරුම් කිහිපයක් වාර්තා වන හෙයින්, නැවේ තෙල් විසිරී යාමේ අවදානම අධික බව ද කියැවේ.

මේ වන විට නෞකාවේ සිටින ග්‍රීක කපිතාන්වරයාගේ උපදෙස් මත ගින්න මැඩපවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් ද ආරම්භකර තිබේ.

ඒ අනුව ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව විසින් නෞකා තුනක් සහ ගුවන් යානයක් ගින්න නිවීම සඳහා යොදවා ඇති අතර, Helen M නමැති තවත් නෞකාවක් ද යොදවා තිබේ.

නෞකාවේ බොරතෙල් සාගර කලාපයට එක් වුවහොත් සිදුවනු ඇත්තේ අති දැවැන්ත පාරිසරික විනාශයකි. මෙය ඇතැම්විට ලෝකයේ දරුණුතම තෙල් කාන්දුව විය හැකි බවටත් ඇතැම් වාර්තා පවසයි.

කෙසේ වෙතත් අද දිනයේ (4) සවස මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ තෙල් විසිරීමේ අධික අවදානමක් නොමැති බව ය. නමුත් සුරක්ෂිත බව තහවුරු කළ හැක්කේ ගින්න සම්පූර්ණයෙන් මැඬලීමෙන් පසුව බවත් එහිදී සඳහන් විය.

තල්මස් පාරාදීසයක් අනතුරේ

ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ දැකගත හැකි තල්මසුන්

අම්පාර සංගමන්කන්ද තුඩුවට නුදුරු වෙරළ කලාපය වන මෙය, තල්මසුන් නැරඹීම සඳහා ප්‍රචලිත වෙරළ කලාපයකි.

ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පිහිටා තිබෙන පරදීප් තෙල් පිරිපහදුව හරහා ඉන්දියාව වසරකට බොර තෙල් මිලියන 15 ක් පිරිපහදුවට ලක් කරයි.

Cover Photo: Sri Lankan Air Force via AP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි