×

ලන්ඩනයට නත්තල අහිමි වෙයි. එංගලන්තයෙන් වැඩි කොටසක් නැවතත් ලොක්ඩවුන් !

අද (19) සිට ලන්ඩනයට නත්තල අහිමි වන බව අගමැති බොරිස් ජොන්සන් හදිසියේම නිවේදනය කළේය.


ලන්ඩනයේ ප්‍රදේශ 32 ක් ම මේ යටතේ ලොක්ඩවුන් කිරීමට නියමිත ය.ගිණිකොණදිග එංගලන්තය සහ නැගෙනහිර එංගලන්තයට ද මෙය බලපැවැත්වේ. වේල්සය සඳහා 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට ලොක්ඩවුන් තත්වය ආරම්භ වේ.

උතුරු අයර්ලන්තය පමණක් නත්තලෙන් පසුව ලොක්ඩවුන් කිරීමට නියමිත ය. ස්කොට්ලන්තය පවසන්නේ අඟහරුවාදා දිනය තුළ අවසන් තීරණය දැනුම් දෙන බවයි.

මෙයට පෙර අගමැතිවරයා පවසා තිබුණේ දෙසැම්බර් 23-27 දක්වා කාලය තුළ කිසිදු කෝවිඩ්-19 සීමාකරණයකට ලන්ඩනය යටත් නොවනු ඇති බවයි.

නමුත් Tier four ලොක්ඩවුන් කාල පරිච්ඡේදය හදිසියේ ඇරඹෙන බව හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බොරිස් ජොන්සන් අගමැතිවරයා දැනුම් දුන්නේ එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශකවරයා වන ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් ද සමග ය.

Tier four නව නීති අනුව නිවාස තුළදී හෝ පිටස්තරයන් මුණ ගැසීම තහනම් වන අතර එසේ කළ යුත්තේ එළිමහන් ස්ථානයකදී පමණි.

මෙම අනපේක්ෂිත හදිසි දැනුම් දීමත් සමග ලන්ඩන් නුවරවාසීන් මහත් අපහසුතාවයකට පත්ව සිටිති.

ඉතා දීර්ඝ කෝවිඩ් ලොක්ඩවුන් කාල පරිච්ඡේදයකට පසුව ඔවුන් මෙවර නත්තලේදී උත්සවකාරී නොවන ලෙස නමුත් සිය ඥාතීන් සහ පවුල්වල සාමාජිකයන් සමග සැමරීමට සූදානමින් සිටි දහස් සංඛ්‍යාත දෙනාට මේ නිසා හදිසියේම විශාල අපහසුතාවකට ලක්වන්නට සිදුව තිබේ.

ගුවන් ටිකට්පත් අවලංගු කිරීමට සිදුවීම හේතුවෙන් ගුවන් සමාගම් ද විශාල අපහසුතාවන්ට ලක් වනු ඇත.

බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය කල් තබා නිවේදනය කළ යුතුව තිබූ දෙයක් බවයි.

‘‘නිරුත්තර නායකත්වයක්‘‘ – විපක්ෂ නායක ගේ දැඩි විරෝධය

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායක කෙයර් ස්ටාමර් මෙසේ පවසයි.

‘‘මිලියන ගණනක් දෙනා ගේ හදවත් මේ නිසා බිඳී යාවි..‘‘

ශ්‍රීමත් කෙයර් ස්ටාමර් තවදුරටත් පවසන්නේ පසුගිය බදාදා දිනයේ තමන් බොරිස් ජොන්සන් හමුවේ මෙවැනි තත්වයක් උද්ගත වේදැයි විමසූ බවයි.

නමුත් එයට බොරිස් ජොන්සන් සරල ලෙස පිළිතුරු දී තිබුණේ “a merry little Christmas‘‘ යනුවෙනි.

එංගලන්ත ජනතාවට නියත බවක් අවශ්‍යම වී තිබූ  මොහොතක අගමැතිවරයා කළ මේ ප්‍රකාශය මගින් පෙන්වා දෙන්නේ ගැටළුවලට පිළිතුරු නැති – නිරුත්තර නායකත්වයක් යැයි ද ශ්‍රීමත් කෙයර් තවදුරටත් පවසයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි