×

වසර නවයකට පසු බෙල්ජියමේ සමලිංගිකභීතික මනුෂ්‍ය ඝාතනයක්!

අප මේ දිව යන්නේ ආතල් එකට මිනී මරන ස්මාර්ට්ෆෝන් යුගය වෙතද?


වසර නවයකට පසු බෙල්ජියමෙන් පළමු වරට සමලිංගිකත්වය ඉලක්ක කර ගත් වෛරී මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වී තිබේ.

ඝාතනයට ලක්වී තිබෙන්නේ හතලිස් දෙහැවිරිදි ඩේවිඩ් පී නමින් මාධ්‍ය වාර්තා විසින් හැඳින්වූ පුද්ගලයෙකි.

සමරිසි පුද්ගලයින් පුද්ගල සබඳතා පවත්වා ගැනීම සඳහා භාවිතා කරන ග්‍රයින්ඩ්ර් නම් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුම හරහා මෙම පුද්ගලයා හා සම්බන්ධ වූ පිරිසක් විසින් ඔහුව අසළ උද්‍යානයකට කැඳවාගෙන අමානුෂික අන්දමින් පහර දී ඝාතනය කොට තිබේ.

මෙම සිදුවීමට පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධ බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් තිදෙනාම තරුණයින් බවද සඳහන්.

බෙල්ජියමේ නැගෙනහිර ෆ්ලැන්ඩර්ස් හි ඇන්ට්වර්ප් හි උතුරු වරායට යාබදව පවතින මෙම උද්‍යානයේදී ඩේවිඩ් ගේ මළසිරුර සොයාගෙන තිබේ.

ඝාතනයට සැකපිට තරුණයින් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස 16 – 17 අතර පසුවන පුද්ගලයින් බවයි පොලීසිය පවසන්නේ. බෙල්ජියමේ නීතියට අනුව මෙම සැකකරුවන් අඩුවයස් තරුණයින් සේ සැලකේ.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ වී පවතී.

බෙල්ජියමේ මෙසේ ලිංගිකත්වය මත පදනම් ව පුද්ගලයකු ඝාතනයට ලක්ව තිබෙන්නේ වසර නවයකට පසුවය. මෙම මනුෂ්‍ය ඝාතනය පිළිබඳව මේ වන විටත් බෙල්ජියමේ දේශපාලන පිටිය උණුසුම් වී ඇති අතර, දරුණු වෛරී ඝාතනයක් බවට එරට දේශපාලඥයින් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

පෙට්‍රා ඩි සටර් යනු බෙල්ජියමේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියයි. එමෙන්ම ඈ යුරෝපයේ පළමු විවෘත සංක්‍රාන්ති සමාජභාවී අමාත්‍යවරිය ද වේ. මෙම මනුෂ්‍ය ඝාතනය පිළිබඳ අදහස් දක්වමින් සටර් මහත්මිය අවධාරණය කරනු ලැබුවේ පිරිමියකු තවත් පිරිමියකුට ආශා කළ පමණින් ඔහුව ඝාතනය කිරීමට තරම් අප සමාජය කුරිරු වී ඇති බවයි.

එමෙන්ම, මෙම ඝාතනයට වගකිව යුතු පාර්ශවයන් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබා දිය යුතු බවත්, කිසිදුවිටක හෝමෝෆෝභියාව, නැතහොත් සමලිංගිකභීතිකාව සහ ට්‍රාන්ස්ෆෝභියාව, නැතහොත් සංක්‍රාන්තිභීතිකාව ට ඉඩ නොතැබිය යුතු බවත් ඈ වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මීට ඉහතදී මෙවන් මනුෂ්‍ය ඝාතනයක් බෙල්ජියමේ සිදුව තිබෙන්නේ 2012 වර්ෂයේදී යි.

මොරොක්කෝ ජාතික ඉහ්සේන් ජර්ෆි නම් තැනැත්තෙකු මෙම සිදුවීම හා සමානව අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වන්නේ බෙල්ජියමේ ලිජ් නගරයේදීය. ඒ 2012 අප්‍රේල් මස 22 වන දිනය.

ජර්ෆි ලේ මළසිරුර හමුවී තිබෙන්නේ සමරිසි රාත්‍රී සමාජශාලාවක් පිටතදී ඔහුව පැහැර ගැනීමෙන් දින කිහිපයකට පසුවයි. මරණ පරීක්ෂණ වලදී හෙලිවූයේ ඔහුට ඝාතනයට ලක්කිරීමට ප්‍රථම දරුණු අන්දමින් වධහිංසා පමුණුවා ඇති බවයි.

ජර්ෆි ගේ මරණයට අත්අඩංගුවට පත් පුද්ගලයින් අධිකරණය ඉදිරියේ වරදකරුවන් කිරීමෙන් අනතුරුව දැඩි දඬුවම් පනවා තිබිණි. ඒ 2003 වර්ෂයේදී හෝමොෆෝබියාව යනු අපරාද වරද අතර පවතින ප්‍රභල සාධකයක් බවට අනුමත කර තිබූ වාතාවරණයක් තුළය.

ඒ අනුව, එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර, තවත් එක් පුද්ගලයකුට වසර 30 ක සිර දඬුවමක් නියම විණි.

බෙල්ජියම යනු සමරිසිභාවය ඇතුළු එල්ජීබීටී අනන්‍යතාවයන් සඳහා පිළිගැනීමක් පවතින රාජ්‍යයක් සේ සැලකෙන මුදු එල්ජීබීටී පුද්ගලයන් ඉලක්ක කොට ගෙන වෙනස්කොට සහ කොන්කොට සැලකීම් තවමත් සිදුවන බවට විවිධ වාර්තා පළවෙයි.

ඒ අනුව ඉහත ඩේවිඩ් නම් පුුද්ගලයාගේ ඝාතනය මානව හිමිකම් වේදිකාව සලිත කිරීමට සමත් ව තිබේ.

යුනියා නම් ස්වාධීන මානව හිමිකම් සංවිධානයේ වාර්තාවකට අනුව බෙල්ජියමේ ඉකුත් වසර පහක කාලය තුළ එල්ජීබීටී ප්‍රජාව ඉලක්ක කර ගත් වෛරීසහගත සිදුවීම් සහ අපරාධ සියයට තිස් අටකින් (38%) ඉහළ ගොස් තිබේ.

එල්ජීබීටී සමානාත්මතාවය ස්ථාපිත වූ රාජ්‍යයක් තුළ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

ඒ අතර, එරට අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩි කෘෘ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර, සිය නිල නිවසේ එල්ජීබීටී ප්‍රජාව නියෝජනය කරන දේදුනු කොඩිය ලෙල දෙන ලෙස සවිකර ඇති බව ද වාර්තා වෙයි.

Bridge to Equality



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි