×

විරාගික පෙමක පැටලී සිටි මහා කවියා – ටී. එස්. එලියට්

ලෝක ප්‍රකට ඇමරිකානු – ඉංග්‍රීිසි කවියකු වන ටී. එස්. එලියට් අපෙන් සමුගෙන ජනවාරි 04 වන දිනට වසර 58කි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. අපේ ජීවිතවලට බොහෝ සමීප පෞද්ගලික තොරතුරු බොහොමයක් අප ජීවත්ව සිටිය දී අපි ලෝකයෙන් සඟවාගෙන සිටිමු. එම අප්‍රකට තොරතුරු අපගේ මරණයෙන් පසුව ද, හෙළිදරව් නොවුනහොත්, ඒවා බොහෝවිට අපගේ මරණයත් සමඟ ම වැලලී යනු ඇත. […]


ලෝක ප්‍රකට ඇමරිකානු – ඉංග්‍රීිසි කවියකු වන ටී. එස්. එලියට් අපෙන් සමුගෙන ජනවාරි 04 වන දිනට වසර 58කි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

අපේ ජීවිතවලට බොහෝ සමීප පෞද්ගලික තොරතුරු බොහොමයක් අප ජීවත්ව සිටිය දී අපි ලෝකයෙන් සඟවාගෙන සිටිමු. එම අප්‍රකට තොරතුරු අපගේ මරණයෙන් පසුව ද, හෙළිදරව් නොවුනහොත්, ඒවා බොහෝවිට අපගේ මරණයත් සමඟ ම වැලලී යනු ඇත.

ලෝක ප්‍රකට කවියකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු මෙන් ම, සාහිත්‍ය විචාරකයකු ද වන ටී. එස්. එලියට්ගේ ජීවිතයට බොහෝ සමීප එවන් අතිශය පෞද්ගලික අප්‍රකට පෙම් පුවතක් ඔහුගේ මරණයෙන් වසර හැටකට පසු, අදින් වසර තුනකට පමණ පෙර එනම් 2020 වසරේ ජනවාරි මාසයේ දී හෙළිදරව් වී තිබේ.

ඒ, ඔහු විසින් 1960 දී ලියන ලද ලිපියක් හමුවීමත් සමඟ ය. තමා කාන්තාවක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවත්, වසර 26 ක් තිස්සේ ඇය හා ලිපි හුවමාරු කරගත් බවත් ඔහු එම ලිපිය මගින් ලොවට හෙළිකරයි. 1912 දී නාට්‍ය ගුරුවරියක වන එමිලි හේල් සමඟ තමා ආදරයෙන් බැඳුණු බවත්, ඉන් වසර ගණනාවකට පසුව තමා ඇයට සැබවින් ම ආදරය නොකළ බව තමාට අවබෝධ වූ බවත් එලියට් තම ලිපියේ සඳහන් කර තිබේ.

එලියට් 1915 දී විවාහ කරගත් තම පළමු බිරිඳ වන විවියන් හේග්-වුඩ් සමඟ සිටිය දීම හේල්ට ලිපි සිය ගණනක් ලියා තිබේ. මෙම කරුණු හෙළිවූයේ, වසර ගණනාවක් තිස්සේ නිව් ජර්සි හි ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මුද්‍රා තබා තිබූ මෙම ආන්දෝලනාත්මක ලිපි එකතුව 2020 වසරේ ජනවාරි මාසයේ දිනෙක විවෘත කරනු ලැබීමත් සමඟ ය. මුද්‍රා තැබූ පෙට්ටිවල වූ ඔවුන්ගේ ලිපි අතර වූ එලියට්ගේ එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත්තේ, තමා හේල් වෙත යවන ලද ලිපි ප්‍රසිද්ධියට පත් වූවාට පසු පමණක් මුදා හැරිය යුතු බව එලියට් සඳහන් කර තිබූ පසුබිමක ය.

එම ලිපි එකතුවෙහි ඇති ගණනින් 1,131ක් වන ලිපි ප්‍රමාණය වසර 60 කට වැඩි කාලයක් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙ හි මුද්‍රා තැබූ පෙට්ටිවල නිරුපද්‍රිතව තිබී ඇත. 1956 දී හේල් විසින් එම ලිපි එකතුව ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කරන ලද්දේ ඔවුන් දෙදෙනාගේ මරණයෙන් වසර 50ක් ගතවන තෙක් ඒවා විවෘත නොකරන කොන්දේසිය මත ය. 1965 දී සිදුවූ 76 හැවිරිදි ටී. එස්. එලියට්ගේ අභාවයෙන් වසර හතරකට පසුව එනම්, 1969 දී හේල් මිය ගියා ය.

එලියට්, එමිලි හේල් සමඟ ආදරයෙන් බැඳී ඇත්තේ, ඔහුට වයස අවුරුදු 25 දී ය. ඇමරිකාවේ බොස්ටන් හි ධනවත් පවුල් දෙකකට අයත් ඔවුන් දෙදෙනා නව යොවුන් වියේ දී එකිනෙකා තරමක් දැන හැඳිනගෙන සිටිය ද, ඔවුන්ගේ පෙම් සබඳතාව ගොඩනැගුණේ 1912 දී එලියට් හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටිය දී ය. එම කාලය තුළ දී කැරලි ගැසුන දුඹුරු පාට හිසකෙස් ඇති උස, ලස්සන නිළියක් තම මිතුරන්ගේ නිවෙස්වල දී එලියට්ට නිතර නිතර දක්නට ලැබිණි. ඒ හේල් ය.

ඔවුන් ආධුනික නාට්‍යවල එකට එක්ව රඟපෑ අතර, බොස්ටන් ඔපෙරා රඟහලේ පැවැති ප්‍රසංග කිහිපයකට ද ඔවුහු සහභාගී වූහ. 1912 දී උදාවූ එවන් අවස්ථාවක තමා ඇයට ආදරය කරන බව මුලින් ම තේරුම් ගත් ඔහු, ඇයට ගැඹුරින් ආදරය කරන බව ප්‍රකාශ කළේ ය. එහෙත්, කිසිදු විටෙක විවාහයක් ගැන ඔහු කිසිදු සඳහනක් නොකළේ ය.

එවන් නොපැහැදිලි ප්‍රකාශයක් හේල්ට කිරීමෙන් පසු, වසරක ශිෂ්‍යත්වයක් සඳහා හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වන ඔහු, 1914 සිට ස්ථිර පදිංචිය සඳහා එංගලන්තය තෝරාගත්තේ ය. ඒ සමඟ ම එලියට් සහ හේල් අතර පැවැති සම්බන්ධය නැතිව ගිය අතර, 1915 මාර්තු මාසයේ දී ඔහුට එහි දී මුණගැසුන විවියන් හේග්-වුඩ් නම් ඉංග්‍රීසි ජාතික කාන්තාවක සමඟ එම වසරේ ජුනි මාසයේ දී ම ඔහු විවාහ දිවියට එළැඹුණේ ය.

වැඩිකල් නොගොස් ම හේල් ද ලන්ඩනයට පැමිණි අතර, දශකයකට පමණ පසුව එහි දී ඇයට නැවත එලියට් මුණගැසිණි. ඒ වනවිට ඇය විස්කොන්සින් හි මිල්වවෞකි-ඩවුන්ර් විද්‍යාලයේ නාට්‍ය කලාව උගන්වමින් සිටියා ය. තමා ඇයට ආදරය කරන බව නැවතත් එලියට් ඇයට පැවසී ය. 1930 දී ඇය නැවත එක්සත් ජනපදයට යෑමෙන් පසු එලියට් සහ ඇය අතර දීර්ඝ ලිපි හුවමාරුවක් ආරම්භ වූ අතර, එය වසර 26ක් තරම් දීර්ඝ කාලයක් පැවතියේ ය. හුදු පෙම් හසුන් පමණක් නොවූ එම ලිපි බුද්ධිමය කරුණුවලින් පිරි චිත්තවේගීය ලිපි හුවමාරුවක් වූ අතර, එමගින් එලියට් තම සිතේ තදින් යටපත් කරගෙන සිටි හැඟීම් වෙනත් ආකාරයකින් පිට කරන්නට කටයුතු කළේ ය.

විවියන් සමඟ විවාහ වීම ගැන එලියට් පසුතැවිලි වී ය. නමුත්, ඔහුගේ කවි සඳහා ඉතා යහපත් බලපෑමක් කළ විවියන්, එලියට්ගේ පෞද්ගලික ජීවිතය යහපත් නොකළේ ය. දරුණු මානසික රෝගයකින් පීඩා විඳි ඇය වේදනා නාශක ඖෂධ රැසක් ගැනීමෙන් ව්‍යාකූලත්වයට සහ භීතියට ගොදුරු වූවා ය. ඔවුන්ගේ විවාහයේ මුල් වසරවල දී ඇය වැඩි වශයෙන් සනීපාරක්ෂක මධ්‍යස්ථාන තුළ ගත කළ අතර, කිහිප වතාවක් ම සියදිවි නසා ගැනීමට උත්සාහ කළා ය. විවියන් සමඟ ගත කළ අවුරුදු 17ක විවාහ ජීවිතය නපුරු සිහිනයක් මෙන් ම, දරුණු වේදනාවක් ද වූ බව ඔහු වරෙක සඳහන් කළේ ය. ස්වාමිපුරුෂයකු ලෙස ඔහුගේ ඇති නුසුදුසුකම ගැන එලියට් තමාට ම නින්දා කරගත්තේ, ‘මම පොරොන්දු වූ පරිදි ඇයට ආදරය කිරීමට නැවත නැවතත් උත්සාහ කළෙමි. නමුත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ය’ යනුවෙන් ලියා තබමිනි.

එලියට් සහ හේල් අතර වූ පෙම් සබඳතාව වර්ධනය වෙන්නට වූයේ, මෙවන් තත්ත්වයක් යටතේ ය. 1930 සිට 1956 දක්වා කාලය තුළ ඔවුන් අතර ගනුදෙනු වූ ලිපි සමුදාය මගින් ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව ගැන මෙන් ම, එලියට්ගේ නිර්මාණාත්මක ජීවිතය පිළිබඳවත් බොහෝ සමීප තොරතුරු හෙළිදරව් වී තිබේ. එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට එලියට් කැමැත්තක් දක්වා නොතිබුණු අතර, ඒවා විනාශ කරන ලෙස පවා ඔහු සිය පෙම්වතිය වන හේල්ට දන්වා තිබිණි.

1947 සිට ඔවුන් දෙදෙනා අතර පැවැති ඇසුර අතරතුර එමිලි හේල් තුළ පැවැති අසංවේදී බව සහ පහත් රසිකත්වය ගැන එලියට් ඇයට බොහෝවිට චෝදනා කළේ ය. එවන් අවස්ථාවල ඇයත්, තමාත් අතර පැවැති අසමානතා සහ පරස්පරතා තමාට වඩාත් හොඳින් අවබෝධ වූ බවත්, තමා ඇයට ලියමින් සිටින ලිපි මායාවෙන් පෙළෙන මිනිසෙකුගේ ලිපි බවත් ඔහු වරෙක සඳහන් කළේ ය. හේල් සමඟ තමා විවාහ වූයේ නම්, ඇය තමා තුළ සිටින කවියා මරා දමනු ඇතැයි යනුවෙන් ද ඔහු වරෙක සඳහන් කළේ ය.

එලියට් විසින් හේල්ට යවන ලද ලිපි වේදනාවෙන් පෙළෙන මිනිසෙකුගේ ලිපි බව පවසන සුප්‍රකට කාව්‍ය ප්‍රකාශන සමාගමක් වන ‘ෆේබර් ඇන්ඩ් ෆේබර්’ ආයතනයේ සංස්කාරක මැතිව් හොලිස් එම ලිපිවල සඳහන් දෑ මගින් එලියට්ගේ සැබෑ හැඟීම් පෙන්නුම් කරන බවත්, ඔවුන් දෙදෙනා කිසිවිටෙකත් ලිංගික සම්බන්ධකම් පවත්වා නොමැති බවත් සඳහන් කරයි.

කෙසේ වුවද, ටී. එස්. එලියට් ලොවට දායාද කළ මහාර්ඝ සාහිත්‍ය උරුමය රැකගත්තේ ඔහු හා අසාර්ථක විවාහ දිවියක් ගතකර 1947 දී උන්මත්තකාගාරයක දී මියගිය ඔහුගේ පළමු බිරිඳ වූ විවියන් හේග්-වුඩ්වත්, ඔහුගේ විරාගික ප්‍රේමයට හිමිකම් කී එමිලි හේල්වත් නොව, 1957 දී ඔහු හා විවාහ වී වසර 40කට වැඩි කාලයක් තම සැමියාගේ සාහිත්‍ය උරුමය රැකගත් එලියට්ට වඩා වසර හතළිහකින් බාල ඔහුගේ දෙවැනි බිරිඳ වූ වැලරි එලියට් ය. සිය පාසල් අවදියේ දී ම එලියට්ගේ රසිකාවක් බවට පත්ව සිටි ඇයට එලියට් මුණගැසෙන්නේ ඇය ‘ෆේබර් ඇන්ඩ් ෆේබර්’ ආයතනයේ ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටි 1949 වසරේ දී ය.

1889 සැප්තැම්බර් 26 දින අමෙරිකාවේ මිසූරිවල උපත ලබා 1965 ජනවාරි 04 දින ලන්ඩනයේ දී මියගිය ටී. එස්. එලියට් කවියා වසර 76ක් සුජීවත්ව සිටිය දී කාව්‍ය සංග්‍රහ 26ක්, නාට්‍ය 09ක්, එක් ප්‍රබන්ධයක්, ප්‍රබන්ධ නොවන කෘති 45ක්, ලිපි එකතු 04ක් ඇතුළු දැවැන්ත සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණයක් ලොවට තිළිණ කළේ ය.

ඒ අතරින්, The Love Song of J. Alfred Prufrock – (1915), The Waste Land – (1922), The Hollow Men-(1925), Murder in the Cathedra-(1935) iy Four Quartets-(1943) යන නිර්මාණ විශිෂ්ටතම නිර්මාණ ලෙස පිළිගැනේ. ඔහුගේ නිර්මාණ රැසක් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, වර්තමාන කවියට ඔහු දැක්වූ කැපී පෙනෙන පුරෝගාමී දායකත්වය වෙනුවෙන් 1948 දී ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

ටී. එස්. එලියට් නම් මේ මහා කවියාගේ නූතනවාදී කවියෙන් සහ සාහිත කලාවන් සම්බන්ධයෙන් ඔහු පළ කළ විචාර සිද්ධාන්තවලින් අපේ සිංහල කවියට ලැබුණු ආලෝකය ද සුළුපටු නොවේ.

අනුර බී. සෙනෙවිරත්න
සංස්කරණය – රුවන් ජයවර්ධන



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි