×

සතුට එක ඡායාරූපයක – සයවසරකට පසු නසානින් සගාරි සිය සැමියා සහ දියණිය සමඟ එක්වෙයි!

ඉරානයේ සයවසරක කාලයක් සිරදඬුවම් විඳ ඊයේ (16) දින නිදහස ලැබූ බ්‍රිතාන්‍ය-ඉරාන ජාතික නසානින් සගාරි රැට්ක්ලිෆ් යළි බ්‍රිතාන්‍යයට පැමිණ සිටී.


අද (17) දින ඈ සිය සැමියා රිචර්ඩ් සහ අට හැවිරිදි දියණිය ගැබ්‍රියෙල් සමඟ ඔක්ස්ෆර්ඩ්ෂයර් ගුවන් තොටුපළේදී එක්වන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල මේ වන විට හුවමාරු වෙමින් පවතී.

ඉරානය හා බ්‍රිතාන්‍යය අතර දශක පහක පමණ කාලයක නොවිසඳුන යුධ ගනුදෙනුවකට අදාළව ප්‍රාණ ඇපයට තබාගනිමින් නසානින් ඉරාන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ ඉකුත් 2016 වර්ෂයේදී ය. ඒ එවකට දෙහැවිරිදි සිය දියණිය සමඟ ඉරාන අලුත් අවුරුද්දට තම දෙමාපියන් බැලීමට ඉරානයට ගිය මොහොතේ ය.

ඉරාන රජයට විරුද්ධව කුමන්ත්‍රණ කරන සංවිධානයකට ඈ නායකත්වය සපයන්නේ යැයි සාවද්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට පත්වන නසානින් තම නිදහස වෙනුවෙන් දැඩි අරගලයක නිරත වූවාය.

සය වසරක සිරදඬුවම් විඳි නසානින් ඉරානය හා බ්‍රිතාන්‍යය අතර නොවිසඳුනු යුධ ටැංකි ගනුදෙනුවක් නිසා මතුවූ දේශපාලන අර්බුදයක වින්දිතයෙකි.

නමුත් අද දින ඈ නිදහස ලබා සිය පවුල සමඟ යළි එකතු වී තිබේ.

නසානින් සමඟ තවත් බ්‍රිතාන්‍ය-ඉරාන සම්භවයක් ඇති පුද්ගලයන් දෙදෙනෙකු සිරභාරයට ගෙන තිබූ අතර ඒ දෙදෙනා ද නිදහස් කිරීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ, බ්‍රිතාන්‍ය රජය ඉහත කී ගනුදෙනුවට අදාළ මුදල් යළි ලබා දීමට එකඟතාව පළකර ඇති පසුබිමක් තුළය.

ඡායාරූප: බීබීසී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි