×

සුද්දා අපෙන් කොපි කළා ද, අපි සුද්දා ගෙන් කොපි කළා ද? දේශසීමා බිඳගෙන යන පොලිස් සාපය

නීතිය අවභාවිතා කිරීම පිළිබඳ පොලීසියට නැඟෙන චෝදනා එක්සත් ජනපදය වැනි දියුණු හා ප්‍රජාතන්ත්‍රවාදය හිස්මුදුනින් අගයන රටවලින් පවා වාර්තා වන විට, මෙවන් හැසිරීම් සුද්දා අපෙන් කොපි කළා ද, අපි සුද්දා ගෙන් කොපි කලා ද, නැතහොත් මුළුමහත් ගෝලීය පොලිස් බලකායන් ට පොදු සමාජ සාපයක් ද යන පැණය අප හමුවේ මතු වේ.


මෙම සිදුවීම වාර්තාවෙන්නේ එක්සත් ජනපදයේ වර්ජිනියාවෙනි. ඉකුත් වසරේ වර්ජිනියාවේ මාර්ගබාධකයක් අසළ නවත්වන වාහනයකින් පිටතට ගන්නා හමුදා නිලධාරියකුට අමානුෂික අන්දමින් පොලිස් නිලධාරීන් සලකන අන්දම වීඩියෝපටයක සටහන් වී තිබුණේ මෙපරිද්දෙනි.

IFrame

මෙම වීඩියෝ පටයේ සඳහන් වන අන්දමට ලුතිනන් කැරොන් නසාරියෝ ගමන් ගත් වාහනය අදාළ මාර්ගබාධකය අසළ නවත්වා ගිනි අවි පෙන්වා මුහුණට ගම්මිරිස් ද්‍රාවණයක් ඉස පිටතට අදින අයුරු දැක්වේ. මෙම පොලිස් නිලධාරීන් පැවසූයේ ලුතිනන් නසාරියෝ පැදවූ වාහනයේ අංක තහඩුව නොමැති නිසා එය නතර කිරීමට අණ දුන් බවයි. නමුත් නසාරියෝ පැදවූ අලුත් වාහනයේ පසුපස වාහන අංකය සඳහන් කරමින් පුවරුවක් එල්ලා තිබිණි.

හමුදා නිලධාරියකු වන නසාරියෝ පොලිස් නිලධාරීන් ගෙන් බොහෝ විනීතව නැවත නැවත විමසා සිටින්නේ මෙසේ සැලකීමට තමා කළ වරද කුමක් ද යන්නයි. ඊට පොලිස් නිලධාරීන් ප්‍රතිචාර දක්වන අන්දම ඔබට වීඩියෝ පටය හරහා ම නැරඹිය හැකිය.

මේ තරම් පහත් අන්දමින් ගිනි අවි අමෝරා ගනිමින් බෙරිහන් දෙමින් ලුතිනන් නසාරියෝ හට මහමඟ තර්ජනය කිරීමට තරම් ඔහු කළ වරද කුමක්ද? සිදුකළ වරද කුමක්දැයි හෝ නොපවසා ගම්මිරිස් ද්‍රාවණය ඇසට විදිමින් බලෙන් වාහනයෙන් බැස්සවීමට කටයුතු කිරීම වධහිංසනයක් පිළිඹිමු නොකරන්නේ ද? නසාරියෝ අත කිසිදු වරදක් නොමැත්තේ නම්, මෙම සිදුවීම හුදෙක් වර්ගවාදී මානයක් වෙත දිවයාම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. ලුතිනන් නසාරියෝ කළු ජාතිකයෙකි. මහමඟ තග දැමූ පොලිස් නිලධාරීන් සුදු ජාතිකයන් ය.

වීඩියෝව අවසානයේ අදාළ පොලිස් නිලධාරියා නසාරියෝ හට දැමූ මාංචු ගලවා නිදහස් කරන අතරවාරයේ ගාම්භීර ස්වරයෙන් පවසන්නේ නසාරියෝ කුමන තීරණය ගත්තද තමාට එය බල නොපානු ඇති බවය. එම ප්‍රකාශය තුළින්ම අදාළ පොලිස් නිලධාරියාගේ ප්‍රතිරූපය මාන ගණනාවක් ඔස්සේ අපට ප්‍රත්‍යක්ෂ නොකරවන්නේ ද?

මෙම සිදුවීම ජෝර්ජ් ෆ්ලොයිඩ් ඛේදවාචකය නැවත නැවතත් සිහි නොකැඳවන්නේ ද? මරණයට පත් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් සිවිල් වැසියෙකි. එහෙත් හමුදා නිලධාරියකු බව දැන දැනම කළු ජාතික නසාරියෝ හට මෙම පොලිස් නිලධාරීන් සලකන්නේ හමුදා භටයකු වශයෙන් ඔහු රට දැය වෙනුවෙන් කළ සේවය තුට්ටුවකට මායිම් නොකරමිනි.

ඉකුත් වසරේ දෙසැම්බර් මස (මෙවන් සිදුවීම් රාජ්‍ය මට්ටමින් සාධාරිනීකරණය කළ යුගයක් බවට අමතක නොකරන්න) වූ මෙම සිදුවීමට අදාළ එක් පොලිස් නිලධාරියකු රැකියාවෙන් පහකළ බවට තහවුරු කරන්නේ මෙම වසරේ අප්‍රේල් 11 වන දින ය. ඒ පොලිස් බලය අවභාවිතා කළ බවට නැඟුනු චෝදනා මත ය.

මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා ජෝ ගුටිරේස් සහ ඩැනියෙල් ක්‍රොකර් ය. ජෝ ගුටිරේස් මේ වන විට සිය රැකියාවෙන් පහ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලුතිනන් නසාරියෝ එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද නඩුව හරහා නීති විරෝධී ලෙස අල්ලා ගැනීම, අධික බලය යෙදවීම, නීති විරෝධී ලෙස සෝදිසි කිරීම, භාෂනයේ නිදහස පිළිබඳ පළමු සංශෝධනයේ අයිතිය උල්ලංඝනය කිරීම සහ පොදු නීති මත පහරදීම්, අපහාසාත්මක ලෙස සන්නිවේදනය කිරීම සහ ව්‍යාජ සිරගත කිරීම් යන චෝදනා නඟා තිබේ.

මෙම සිදුවීම එක්සත් ජනපද හමුදාවේ ද අවධානය දිනා ගැනීමට සමත් ව තිබේ. සාජන්ට් මේජර් මයිකල් ග්‍රින්ස්ටන් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලුතිනන් නසාරියෝ පිළිබඳ තමා අතිශයින් ම ආඩම්බර වන බවයි. එමෙන්ම මෙවන් සිදුවීම් තවමත් තම රටේ හමුදා නිලධාරීන් හට මුහුණ පෑමට සිදුව තිබීම බරපතල කතිකාවකට මුලපුරන බව ද හෙතෙම අවධාරණය කළේය. හමුදා නායකයකු වශයෙන් මෙවන් සිදුවීම් තම කණ්ඩායමට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයෙන් පසුවීම වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම ආණ්ඩුකාර රැල්ෆ් නෝර්තම් මේ පිළිබඳ අදහස් දක්වමින් අදාළ සිදුවීම ප්‍රශ්නසහගත බවත්, මේ පිළිබඳ ස්වාධීන විමර්ශනයක් දියත් කරවීමට වර්ජිනියා ප්‍රාන්ත පොලීසිය යොමුකරවන බවත් ප්‍රකාශ කර තිබේ.

සමස්ත සිදුවීම පුරා ලුතිනන් නසාරියෝ හමුදා නිලධාරියකු වශයෙන් හැසිරෙන්නේ සහ ප්‍රතිචාර දක්වන්නේ ඉතාමත් විනීත සහ වෘත්තීය මට්ටමින් බව වීඩියෝ පටය නරඹන කුඩා දරුවකුට පවා වැටහේ. එහෙත් නසාරියෝ කළ වරදක් හෝ සඳහන් නොකරමින් ඔහුගේ රිය නතර කරමින් ඔහුව බලෙන් වාහනයෙන් පිටතට ගැනීමට වියරු වැටුණු පිසාචයකු මෙන් හැසිරෙන පොලිස් නිලධාරීන් දැකීමෙන් කුඩා දරුවකු නොව වැඩිහිටියකු පවා බියට පත් නොවන්නේ නම් පුදුමයකි.


ඡායාරූපය: නිව්යෝර්ක් ටයිම්ස්

මේ හා සමානම සිදුවීමක් ඉකුත් ඉරු දින මිනසෝටාවෙන් වාර්තා විණි. විසි හැවිරිදි කළු ජාතික තරුණයකු වන ඩොන්ටේ රයිට් පොලිස් වෙඩි පහරින් මිය යන්නේ මහමඟ වෙඩිපහර කෑ සුනඛයෙකු මෙනි. මෙම සිදුවීම පිළිබඳව අපි ඔබට වාර්තා කළෙමු. මෙම සිදුවීමෙන් උරණ වූ ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයේ නිරත වන අයුරු දැකගත හැකිය. වර්ගවාදය මත පදනම් ව සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට බොහෝ පාර්ශව මෙම මරණය විග්‍රහ කරති. පැහැදිලිවම වර්ගවාදය මත ගෙල සිරකර ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය ද යළි සිහිපත් කරවිමිනි එම විරෝධතා පොලීසියට එරෙහිව දියත් වන්නේ.


ඡායාරූපය: ආර්එෆ්අයි

කියවන්න: ජෝර්ජ් ෆ්ලොයිඩ් දෙවන ජවනිකාව – මිනසෝටා හිදී පොලීසිය කළු ජාතික ඩොන්ටේ රයිට් වෙඩි තබා ඝාතනය කරයි!


ඡායාරූපය: ගෙටී ඉමේජස්


ඡායාරූපය: සජීවී වීඩියෝපටයක් ඇසුරින්

අපගේ අම්මා තාත්තා අපට උගන්වා තිබෙන්නේ යුනිෆෝමයට ගරු කරනා ලෙස ය. ජාතියේ මුර දේවතාවන් මෙන් රට දැය සුරැකීමට සිටිනා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය උතුම් කොට සලකන ලෙසය. පොලීසිය පිළිබඳව මෑතකලදී අසන්නට වුණු සිදුවීම් නම් එතරම් යහපත් ඒවා නොවේ. මහමඟ සිවිල් වැසියන් උස්සා පොලවේ ගසා තඩි බෑ සිදුවීම්, අත්අඩංගුවට පත්වූවන්ගේ ඔලු පලා දැමූවේ යැයි නැඟුනු චෝදනා, වැටලීම් වලදී සැකකරුවන් පලා යාමට තැත්කළේ යැයි ඔවුන් පොලිස් වෙඩි පහරින් මිය ගිය සිදුවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධතා පැවැත්වූයේ යැයි පොලිස් නිලධාරීන් ම අත්අඩංගුවට පත්වූ සිදුවීම් අපේ රටෙන් අපමණ වාර්තා විය.

ඉහත සිදුවීම ඇසෙන විට, නීතිය අවභාවිතා කිරීම පිළිබඳ පොලීසියට නැඟෙන චෝදනා එක්සත් ජනපදය වැනි දියුණු හා ප්‍රජාතන්ත්‍රවාදය හිස්මුදුනින් අගයන රටවලින් පවා වාර්තා වන විට, මෙවන් හැසිරීම් සුද්දා අපෙන් කොපි කළා ද, අපි සුද්දා ගෙන් කොපි කලා ද, නැතහොත් මුළුමහත් ගෝලීය පොලිස් බලකායන් ට පොදු සමාජ සාපයක් ද යන පැණය අප හමුවේ මතු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි