×

හුආවෙයි ප්‍රධානියාට ඇප ලැබෙද්දී චීනය එකට එක කරයි!

හුආවෙයි නිර්මාතෘවරයාගේ දියණිය වන ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන්ග් වැන්ෂු හට, ඊයේ තෙවන වරටත් නඩුව විභාග කිරීමෙන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ඇපයක් මත මුදා හැරි අතර, එයට පැය කිහිපයකට පෙර, කැනඩාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ අන්තර්ජාතික උපදේශකයෙකු චීනය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් ලබාදී තිබෙන්නේ මෙන්ග් සතු අත්පිට මුදල්වලිනි.

මෙන්ග් වැන්ෂු හට ඇප ලැබුණ ද, එහි ඇප කොන්දේසි වන්නේ ඇගේ විදේශ ගමන් බලපත්‍ර භාර දීම සහ කැනඩාවෙන් පිටව නොගොස් වැන්කුවර්හි පිහිටා තිබෙන ඇගේ නිවසක ජීවත්වීම ය. එසේම පැය 24 පුරාම, සතියේ දින 7 ම ඇය කැනඩා ආරක්ෂක අංශවල සුපරික්ෂාව යටතේ ජීවත් විය යුතු අතර, ඇය සිටින ස්ථානය සොයාගත හැකි වන පරිදි GPS වළල්ලක් පැළඳිය යුතුය.

සෞඛ්‍ය ගැටළු අධිකරණයට ඉදිරිපත් කළ හෙයින්, ඇයව ඇමරිකාවට භාරදෙන දිනයක් තවම දැනුම් දී නැතත්, ඇය නිසැක වශයෙන්ම ඇමරිකාවට භාරදීම (උදර්පණය) කළ යුතු වේ. ඇය බරපතළ ලෙස හයිපටෙන්ෂන් (hypertension) හෙවත් අඩු රුධිර පීඩනයෙන් පෙළෙන බැවින්, අත්අඩංගුවට ගැනීමෙන් පසු දින කිහිපයක් රෝහල් ගත කළ බව ද ඇගේ නීතීඥයා සඳහන් කරයි.

ඉරාන සම්බාධක මගහරිමින් හුආවෙයි ජාලය සහ උපාංග ඉරාන වෙළඳපොළට යැවීම ට හොංකොං සමාගමක් හරහා කටයුතු කර ඇති බව ඇමරිකාව, මෙන්ග්ට විරුද්ධව නගන චෝදනාවයි. ඇයව අත්අඩංගුවට ගැනීමත් සමග චීනය සහ ඇමරිකාව අතර පවතින වෙළඳ යුද්ධය ද උත්සන්න විය.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චීනය සිය දැඩි අකමැත්ත පළ කර තිබේ. එය ‘‘නීති විරෝධී, අසාධාරණ සහ කෘෘර‘‘ ක්‍රියාවක් බව චීන බලධාරීහු කියති.

මේ අතර, ඇයට ඇප ලබාදීමට සමාන්තරව, චීනය විසින් මයිකල් කොව්රිග් (Michael Kovrig) නමැති, කැනඩාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු රඳවා තබාගෙන ඉන් පසුව අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කැනඩා අග්‍රමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ හට මේ සම්බන්ධව චීන බලධාරීන් සමග සෘජු ව කතා බස් කිරීමට සිදුව ඇතිබව ද, ඔහු විසින් මෙම ගැටළුව ‘බරපතළ‘ ආකාරයෙන් ගණන් ගන්නා බවද කැනඩා මාධ්‍ය විසින් වාර්තා කරයි.

මයිකල් කොර්විග් මීට පෙර බීජිං, හොංකොං සහ නිව්යෝක් හි ජගත් සංවිධාන මූලස්ථානයේ සේවය කර ඇත. චීනය විසින් රඳවා තබාගැනීම සිදුවන විට ඔහු සිටියේ යුධබිම්වල සිදුවන ගැටළු අවම කිරීම පිළිබඳ පර්යේෂණ කරන ‘ඉන්ටනැෂනල් ක්‍රයිසිස් ගෘෘප්‘ හි ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ය. ඔහු කැනඩා විදේශ අමාත්‍යාංශයේ 2010-2016 අතර කාලයේ සේවය කළ අයෙක් ද වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි