×

🌈ඇන්ගෝලාවටත් මනුෂ්‍යත්වයේ සුන්දර දේදුන්න පායයි!🌈🇦🇴

ඇන්ගෝලාවේ LGBTIQ ප්‍රජාව වෙනුවෙන් නීති වෙනස් කිරීම මේ වනවිට ලෝකයේ බොහෝ දෙනා කතාවෙන මාතෘකාවක් බවට පත්වෙලා. එය ඒ තරම්ම විමතිය දනවන පුවතක් බවට පත් වන්නේ, නොදියුණු මහද්වීපයක මානුෂීය වශයෙන් උසස් ජාතියක් සිටීවියැයි කිසිවෙකුත් අනුමාන නොකළ බැවින් විය යුතුය.


ඇන්ගෝලාවේ LGBTIQ ප්‍රජාව වෙනුවෙන් නීති වෙනස් කිරීම මේ වනවිට ලෝකයේ බොහෝ දෙනා කතාවෙන මාතෘකාවක් බවට පත්වෙලා. එය ඒ තරම්ම විමතිය දනවන පුවතක් බවට පත් වන්නේ, නොදියුණු මහද්වීපයක මානුෂීය වශයෙන් උසස් ජාතියක් සිටීවියැයි කිසිවෙකුත් අනුමාන නොකළ බැවින් විය යුතුය.

ඉකුත් ජනවාරි 23 වෙනිදා තමයි ඇන්ගෝලාව උණුසුම් කරපු ඒ නීතිය වෙනස් උනේ. එම නීතිය ශතකයකට වැඩි කාලයක් පුරා ඇන්ගෝලාවේ මුල් බැස තිබූ එකක්. එරටේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව සමලිංගික සේවනය අපරාධමය වරදක් ලෙස අර්ථකථනය කර තිබුණා. නමුත් දැන් සමලිංගික සබඳතා පැවැත්වීම කිසිදු ආකාරයකින් සාපරාධී ක්‍රියාවක් වෙන්නේ නෑ.

ඇත්ත වශයෙන්ම ඇන්ගෝලාව පෘතුගාලයේ යටත් විජිතයක්ව පැවති යුගයේද සමලිංගික සේවනය හුවා දක්වා තිබුනෙ සොබාදහමට විරුද්ධව සිදුකරන වරදක් ලෙසය. ඒ නිසාම පෘතුගීසින් විසින් ලියන ලද නීති සංග්‍රහය ඇන්ගෝලියානුවන් විසින් ශතකයකට වැඩි කාලයක් පුරා වැරදි ලෙස අර්ථකථනය කරමින් අහිංසක සුළුතරයක් තලා පෙලා ඇත. නමුත් පෘතුගාලය, සමරිසි අයිතීන් දිනා දීමේ සටනේ මුල්කාලීන පුරෝගාමීන් ය. මුලින්ම LGBT ප්‍රජා අයිතීන් ස්ථාපිත කල රටවල් සුළුතරය අතරට ඇතුළත් වීමට තරම් පෘතුගාලය මානුෂහිතවාදී විය.

කෙසේ වෙතත් ඇන්ගෝලාව මේ ලැබූ ජයග්‍රහණය පිටුපස සිටියේ මානව හිමිකම් නියෝජිත පිරිසකි. ඔවුන් ගිය 2018 දෙසැම්බර් මාසයේදී මේ පිළිබඳව පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ලිංගික දිශානතිය මත මිනිසුන්ට වෙනස්ව සැළකීම නවත්වන ලෙසය. මේ අනුව ජනවාරි 23 වන දින මේ ඉල්ලීම විවාදයට ගත් අතර එහිදී 155 ක බහුතර ඡන්දයකින් සම්මත වී නව පනත ප්‍රකාශයට පත් කලේය. එක සාමාජිකයෙක් පමණක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර හත් දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මේ අනුව 2019 වර්ෂයේ සමරිසි අයිතීන් දිනාගත් ප්‍රථම රට බවට ඇන්ගෝලාව පත් විය. එසේම 1975දී පෘතුගාලෙන් නිදහස ලබාගත් පසු ඇන්ගෝලාවේ දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කල ප්‍රථම අවස්ථාවද මෙය වේ.

ප්‍රකාශයට පත් කරන ලද නව නීතිය අනුව ලිංගිකත්වය නිසාවෙන් බැට කෑ ඇන්ගෝලියානු සමසෙනෙහස් ප්‍රජාව මෙතෙක් කල් විඳි සියලු අසාධාරණකම්වලින් විමුක්තිය ලැබීය. පැරණි නීතියේ බලය පාවිච්චි කරමින් ඔවුන්ට පාරක බැස යාම හෝ රැකියාවක් කිරීම අතිශය අසීරුදායක කටයුත්තක් බවට පත් කළේය. රැකියාවක් නැතිව කුසගින්නෙන් හා ලෙඩරෝගවලින් පෙලෙමින් දුක්විඳි සමරිසි සුළුතරයට සමාජයෙන් තියා සිය පවුලෙන්වත් සහනයක් නොවීය. නමුදු නව නීතිය අනුව ඒ සියල්ල වෙනස් වී ඇත. ජීවිතයට නව බලාපොරොත්තුවක් ලැබී ඇත.

LGBTIQ වර්ගීකරණය යටතේ හඳුනාගතහැකි පුද්ගලයෙකුට නව නීතිය උල්ලංඝනය කරමින් අසාධාරණයක් කර තිබේනම් අදාළ වරදකරුව වසර දෙකක උපරිම සිර දඩුවමකට යටත් කල හැක. මේ නිසා දැන් සමස්ථ ඇන්ගෝලියානූවාම ලිංගික සමාජීය වශයෙන් සුරක්ෂිත‍ය.

පසුගිය වසරේදී ඇන්ගෝලියානු රජය විසින් එරටේ ජීවත්වන අයිරිස් ඇංගෝලියන් ජාතිකයන්ට සමරිසි අයිතීන් ලබාදුනි. පෙර සිටම ඔවුන්ගේ සමරිසි සබැඳියාවන්ට අවසර දී තිබුනත් ඒවා නීතිගත කලේ 2018 දී ය.

නව නීතියත් සමඟ ඇන්ගෝලාව දියුණු මානසිකත්වයක් හා මානුෂිකත්වයක් සහිත ජාතියක් ලෙස ලොවට විවෘත වී තිබේ. එසේම මෙම ජයග්‍රහණය මුළු අප්‍රිකානු මහාද්වීපයටම LGBTIQ අයිතීන් දිනා ගැනීමේ මානුෂීය අරගලය තුළ අපූරු සංධිස්ථානයක් ලෙස සදා මතකයේ රැඳෙනු ඇත.

මූලාශ්‍ර – www.qnews.com.au, www.mambaonline.com, www.cnn.com, www.qz.com

| චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි