×

කැලිෆෝනියාවේ කැලෑ අසුන් කුණු කොල්ලයට – මසට විකිණේ!

කැලිෆෝනියාවේ ෆෙඩරල් බලධාරීන් තීරණය කර තිබෙන්නේ එහි ජීවත් වන 1000 ක් වූ කැලෑ අශ්වයන් අල්ලා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්නට ය.


එහිදී ඇතැම් අසුන්ගේ ඉරණම් ගමන අවසන් වීමට නියමිත වන්නේ ඝාතකාගාරවලින් බව ද සඳහන් වෙයි. fate of wild horses

උතුරු දිග කැලිෆෝනියාවේ ජීවත් වන කැලෑ අසුන් අල්ලාගෙන, උන්ව විකුණා දැමීම සහ හදාගැනීමට දීම සඳහා මේ වන විට තීරණයක් ගෙන තිබේ. මෙහිදී ගැබ්ගත් වෙළඹ සහ පැටවුන් පමණක් හදාවඩා ගැනීම සඳහා ලබාදීමට නියමිත ය.

මෙම කැලෑ අශ්වයන් 1000 අතරින් 700 ක්ම ගැබ්බර වෙළඹ හෝ වයස 10ට අඩු අශ්ව පැටවුන් ය.

Two wild horses gallop in Lassen County near Susanville, California.

Two wild horses gallop in Lassen County near Susanville, California.

කැලෑ අසුන් 36 ක් ඩොලර් 1කට

මේ අතර රාංචිකරුවන්, පුහුණුකරුවන් සහ වෙනත් ගැනුම්කරුවන් වෙත වැඩිමල් සහ වයස්ගත කැලෑ අශ්වයන් ඩොලර් 125 ක් වැනි මුදලකට අලෙවි කර දැමීමට සැලසුම් කර ඇත. ඒ සඳහා දින 30 ක කාලයක් ද ලබා දී තිබේ. එම දින 30 ක කාලයෙන් පසු ඉතිරිවන වයස්ගත කැලෑ අශ්වයන් විකුණා දැමෙනු ඇත්තේ කුණු කොල්ලයට ය. එනම්, ඩොලර් 1 ක් වැනි මුදලකට අශ්වයන් 36 දෙනෙක් මිලදී ගැනීමට එම දින 30 න් පසුව හැකියාව ලබාදෙයි.

කෙසේ නමුත් මෙසේ ලබාගන්නා අසුන්ගෙන් වැඩි කොටසක් අශ්ව මස් සඳහා විකුණාදැමීමට නැව්ගත කරනු ඇතැයි විශ්වාසයක් තිබේ.

මෙයට අදාළ නීතිමය තත්වය වන 1971 ෆෙඩරල් නීතිය මගින් තහනම් කර තිබෙන්නේ නිරෝගී අශ්වයන් ඝාතකාගාර වෙත විකිණීම පමණකි.

යක්ෂයාගේ උද්‍යානය

මෙම අසුන් ජීවත් වන්නේ Devil’s Garden Plateau එසේත් නැතිනම් යක්ෂයාගේ උද්‍යානය නමින් හඳුන්වන තැනිතලාවේ ය. එය ඔරිගන් ප්‍රාන්තයේ දේශසීීමාව අසල පිහිටා ඇති ආරක්ෂිත කැලෑ පෙදෙසක් වේ. රටේ විශාලතම කැලෑ අසුන් ගහණය ජීවත් වන්නේ එහි වන අතර, එය ඇමරිකා එක්සත් ජනපද වනාරක්ෂක සේවය විසින් පාලනය කෙරෙයි.

මෙසේ කැලෑ අසුන් ගහණයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම බලධාරීන්ගේ පැත්තෙන් සාධාරණ බව කියැවේ. පසුගිය මාසයේ ෆෙඩරල් නිලධාරීන් කියා සිටියේ එම පරිසරයට දැරිය නොහැකි ප්‍රමාණයකින් අශ්ව ගහණය වැඩි වී ඇති බවය.

‘‘මේ පළාතේ ඉන්න පුළුවන් කැලෑ අශ්වයන් 206 සිට 402 දක්වා ප්‍රමාණයකට විතරයි. ඒත් දැනටමත් කැලෑ අසුන් 4000ක් සිටිනවා“ යැයි එහි බලධාරීහු ප්‍රකාශ කරති.

මෙම තැනිතලාව අක්කර 258,000 කින් යුක්ත ය. මෙතරම් අශ්ව ගහණයකට අවශ්‍ය වන රොද සහ ආහාර මෙම තැනිතලාවේ නොමැති බව බලධාරීහු පෙන්වා දෙති. එසේම මේ වන විට කැලෑ අසුන් විසින් තැනිතලාවේ පවතින ජලයෙන් වැඩි කොටස පරිහරණය කිරීම නිසා සෙසු සත්වයන්ට කෑම මෙන්ම ජල හිඟයක් ද ඇති වී තිබෙන බව ඔවුහු පවසති.

එසේම මෙම අතිරික්ත සතුන්ට වෙනම රක්ෂිත ස්ථාන ඉදිකර දීම ද ෆෙඩරල් රජයට අධි වියදම් කටයුත්තක් වන නිසා, කළ යුතු හොඳම දෙය මේ අන්දමින් උන් අල්ලා වෙන්දේසි කර විකුණා දැමීම බව ඔවුහු පවසති.

අශ්ව ඝාතකාගාර වලංගුද?

කැලෑ අසුන් මේ අන්දමින් අශ්ව ඝාතකාගාර වෙත යැවීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීහු දැඩි කණස්සල්ලට පත්ව සිටිති. American Wild Horse Campaign (AWHC) පෙන්වා දෙන්නේ 1990 දශකයේදී අශ්ව ඝාතකාගාර නීතියෙන් තහනම් කර ඇති බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ අවසන් අශ්ව ඝාතකාගාරය 2007 වසරේදී වසා දමනු ලැබීය. එසේම ඇමරිකා එක්සත් ජනපදය තුළ අශ්ව මස් ආහාරයට ගැනීම සිදුවන්නේ අඩුවෙනි. නමුත් චීනය සහ යුරෝපියානු රටවලින් අශ්ව මස්වලට විශාල ඉල්ලුමක් තිබෙන අතර, මත්පැන් නිෂ්පාදනයේදී ද අශ්ව මස් යොදාගැනීම සිදු කරයි.

මේ නිසා American Wild Horse Campaign (AWHC) පෙන්වා දෙන්නේ, කැලිෆෝනියා ජනපදය, නීතියේ ඇති සිදුරකින් රිංගා අතරමැදියන්ට කුණු කොල්ලයට රටේ සම්පත් විකුණා දමන බවයි. අසරණ, වයස්ගත කැලෑ අසුන් නැව් පිටින් මෙක්සිකෝව සහ කැනඩාව වැනි රටවලට යැවීම සඳහා ඔවුන් මෙම උපක්‍රමය යොදාගන්නා බවට ඔවුහු චෝදනා කරති.

‘‘වසරකට දස දහස් ගණනක් අශ්වයන් මෙක්සිකෝව සහ කැනඩාව වෙත නැව්ගත කර යවනවා. මේ සතුන් ම්ලේච්ඡ අන්දමින් මරා දමා, අවසානයේ ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම සහ ජපානය වැනි රටවල කෑම පිඟන්වල රස මසවුළු බවට පත් වෙනවා. “ යැයි තවත් සත්ව හිමිකම් සංවිධානයක් වන සත්ව සුබසාධන ආයතනය පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ වසරේ පමණක්, යක්ෂයාගේ උද්‍යාන තැනිතලාවේ කැලෑ අශ්ව පැටවුන් 800-1000 අතර ප්‍රමාණයක් උපත ලබා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි