×

2020 G7 සමුළුව ට්‍රම්ප් ගේ බූදලයක් වෙලාද?

කිසිදු ලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ, වැරදියට අර්තකථනය කරන්න එපා, ධවල මන්දිරයෙන් ප්‍රකාශයක්..


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේදී සංවර්ධිත ලෝක නායකයින්ගේ සප්ත ආර්ථික සමූහ සමුළුව (G7 Summit) කැඳවීමට නියමිත අතර එය පැවැත්වීම සඳහා මයැමි නගරයේ ට්‍රම්ප් නැෂනල් ඩොරල් ගෝල්ෆ් රිසොර්ට් තෝරාගෙන ඇති බවට එරට ධවල මන්දිරය නිවේදනය කොට තිබේ.

ධවල මන්දිරයේ වැඩබලන මාණ්ඩලික ප්‍රධානී මික් මුල්වානේ ප්‍රකාශ කොට සිටියේ, එකී සමුළුව පැවැත්වීමට ට්‍රම්ප් සතු දේපළ පරිහරණය කිරීමෙන් ලාභ ලැබීමක් අපේක්ෂා නොකරන බවත්, එම තීරණය වැරදි ලෙස අර්තකථනය නොකරන ලෙසත් ය. 

කෙසේවෙතත්, ට්‍රම්ප් ඇතුළු ඔහුගේ පරිපාලනය මූල්‍ය කටයුතු පිළිබඳ දක්වන උනන්දුව කෙරේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්ව රාශියකට චෝදනා ලබා සිටින අතර, මේ පිළිබඳ හටගත් අඛණ්ඩ විවේචන හමුවේ කොන්ග්‍රසය ද විමර්ශන කටයුතු වල නිරත වෙමින් පවතී.

එළඹෙන 2020 ජුනි 10-12 දිනයන් වල ඩොරල් හිදී G7 සමුළුව පැවැත්වෙන බවත්, මෙම සමුළුව පැවැත්වීම සඳහා ඇමරිකාවේ වෙනත් ප්‍රාන්ත තුළ ප්‍රදේශ සොයා බැලීමේදී සුදුසු ස්ථාන 12ක් පමණ හඳුනා ගත් බවත්, ඉන් ද ට්‍රම්ප් සතු අදාල නිවාඩු නිකේතනය සුදුසු බව හැඟුණු හෙයින් එය තෝරා ගත් බවත් මුල්වානේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. 

මෙම සමුළුව සඳහා අධික පිරිවැයක් යනු ඇති බවටත්, ට්‍රම්ප් සතු මෙම නිකේතනය භාවිතා කිරීම තුළින් ඩොලර් මිලියන ගණනක් ඉතිරි වනු ඇති බවටත්, එය තෝරාගත් අනෙකුත් ගොඩනැගිලි වලට සාපෙක්ෂව ලාභදායී බවත් මුල්වානේ සඳහන් කර සිටියේය. 

එමෙන්ම එම නිවාඩු නිකේතනය සමුළු පැවැත්වීම සඳහා ම සුදුසු පරිදි පහසුකම් සහිතව සකසා ඇති බවට ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

එළඹෙන ජනාධිපතිවරණය හමුවේ තම ප්‍රභලතම දේශපාලන ප්‍රතිවාදියා වන ප්‍රමුඛ ඩිමොක්‍රටික් ජනපති අපේක්ෂකයකු සහ හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බිඩන් හට පසුගිය කාලවකවානුවේ ට්‍රම්ප් පිට පිට පහර එල්ල කර සිටි අතර, ඒ ඔහුගේ පුත්‍රයාගේ යුක්‍රේන හා චීන සබඳතා ඉලක්ක කර ගනිමිනි. කෙසේවෙතත්, මේ වන තුරුත් එකී සබඳතා සාක්ෂි සහිතව තහවුරු කර පෙන්වීමට ට්‍රම්ප් සමත් ව නැත. මේ පිළිබඳ යුක්‍රේන ජනපති වොලොදොමිර් සෙලෙන්ස්කි සමඟ පැවති දුරකතන සංවාදයක් පිළිබඳවද තොරතුරු සැලවීමත් සමඟ ඇමරිකාව තුළ මහත් ආන්දෝලනයක් ඇතිවන ලදී.

රජයේ නිල කැඳවීම් සඳහා ජනාධිපතිවරයා තම පෞද්ගලික ව්‍යාපාරික දේපළ භාවිතා කිරීම බිඩන් ට එරෙහි ට්‍රම්ප් ගොනුකළ චෝදනා වලින් වෙනස්වන්නේ කෙසේ දැයි විමසූ විට මුල්වානේ මාධ්‍යවේදීන් වෙත පවසා සිටියේ G7 සමුළුව තම පෞද්ගලික දේපළ තුළ පැවැත්වීම මඟින් කිසිදු ලාභයක් ට්‍රම්ප් මහතා අපේක්ෂා නොකරන බවත්, එකී සියළු දේපළ තම පවුල උපයා ගත්තේ ඔහු 2017 වර්ෂයේ ජනපති වීමට පෙරාතුව බවත් ය.

කසේවෙතත්, ට්‍රම්ප්ට එරෙහිව ගොනුවූ දෝශාභියෝගය ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මඟින් මේ වන විට විමර්ශනය වෙමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි