×

මෙක්සිකෝ නගරය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ පාසල් නිලඇඳුම් ක්‍රමය අහෝසි කරයි

මෙක්සිකෝ නගරයේ පාසල් දරුවන් හට තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවට (Gender Identity) ගැලපෙන පරිදි ඇඳුම් හැඳ පාසල් පැමිණීමේ හැකියාව උදා වේ.


මෙක්සිකෝ නගරයේ නගරාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් එම නගරයේ පාසල් දරුවන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ නිලඇඳුම් ක්‍රමය අහෝසි කරන බවට නිවේදනය කරන ලදී.

ඒ අනුව, මින් මත්තට මෙක්සිකෝ නගරයේ පිරිමි ළමුන් ගැහැණු ළමුන් යැයි ද්විමය අනන්‍යතාවක් (Gender Binary) මත පදනම් නොවී, තමන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන පරිදි පාසල් පැමිණීමේ හැකියාව දරුවන් හට උදා වේ.

“තමාගේ අවශ්‍යතාව මත කොල්ලන්ට ස්කර්ට් හැඳගෙන හෝ කෙල්ලන්ට කලිසම් හැඳගෙන කිසිදු ගැටළුකින් තොරව පාසලට පැමිණීමට හැකියි,” නගරාධිපතිනි ෂෙයින්බෝම් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

“මෙය සමානාත්මතාවයේ හා සාධාරණත්වයේ ප්‍රතිඵලයකි,” ඇගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙමඟින් ගතානුගතික පුරුෂ මූලික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී රාමූන් බිඳහෙල දමා සියලු දරුවන් (සිස් සමාජභාවී විෂමරිසි හා LGBTIQ) හට ආරක්ෂිත හා සමානාත්මතාවයෙන් යුතු වටපිටාවක් නිර්මාණය කර දීම ඈගේ අරමුණ වී තිබේ.

මීට පෙර, මෙක්සිකෝ නගරයේ පාසල් පද්ධතීන් තුළ පැවති පාසල් නිලඇඳුම් ක්‍රමයේ පිරිමි දරුවන් හට කලිසම හා කමිසයද, ගැහැණු දරුවන් හට සාය හා කමිසය වශයෙන්ද වෙන් කර තිබිණ.

නගරාධිපතිනිය තවදුරටත් පවසා සිටියේ, මෙවන් සමාජ සම්මත අතීතයට හිමිවිය යුතු බවත්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ප්‍රකාශ කිරීමේ නිදහසට ගැළපෙන පරිදි සිදුකළ මෙම වෙනස වහාම ක්‍රියාත්මක විය යුතු බවත් ය.

මොරිනා පක්ෂය නියෝජනය කරන මෙක්සිකෝ නගරයේ නගරාධිපතිනි ෂෙයින්බෝම් මෙම නිවේදනය නිකුත් කළේ ඉකුත් ජූනි 03 වන දින එම නගරයේ පැවති ප්‍රාථමික පාසලක සංචාරයේ යෙදුන අතරවාරයේ ය.

ඇගේ හමුවීම එරට සංක්‍රාන්ති සමාජභාවී මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් පිළිගත් අතර, ඔවුන් පෙන්වා දෙන අන්දමට, ඈ ගත් මෙම තීන්දුව තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව (Gender Identity) නිසි පරිදි හඳුනා නොගත් දරුවන් හා හඳුනා ගැනීම ආරම්භ කරන දරුවන් හට මහඟු රුකුලක් වනු ඇත. ඒ තුළින් තමාගේ අනන්‍යතාවට පටහැනි ඇඳුම් පැළඳුම් ඇඳීමට සිදුවීමෙන් ඇති වන මානසික පීඩනය ඔවුන්ගෙන් තුරන් වනු ඇති බවට ඔවුහු පෙන්වා දෙති.

මෙක්සිකෝවේ අධ්‍යාපන අමාත්‍ය එස්ටබන් මොක්ටෙසූමා ඈ ගත් මෙම තීන්දුව ඉතා පැසසුමට ලක්කළ අතර, එරට අනෙකුත් ප්‍රාන්ත ද මෙම තීන්දුව ගනු ඇති බවට තමා හට විශ්වාස බව පවසා සිටියේය.

මෙක්සිකෝ නගරය ලිබරල්වාදී සමාජ ක්‍රමයක් තම රාජ්‍යයට හා සමස්ත ලෝකයටම කියා දුන් පළමු අවස්ථාව මෙය නොවේ. 2010 වර්ෂයේදී මෙක්සිකෝ නගරය සමරසි යුවල් හට නීත්‍යානුකූල විවාහ සහතික නිකුත් කිරීම ආරම්භ කළ අතර, එතැන් පටන් එම රාජ්‍යයේ ප්‍රාන්ත 12කට ඉහල ප්‍රමාණයක් එය සිදුකරන ලදී. පසුගිය මැයි මාසයේදී මෙක්සිකානු ජනාධිපති ඇන්ද්‍රේස් මැනුවල් ලෝපේස් ඔබ්‍රේදොර් ප්‍රකාශ කර සිටියේ සමරිසි විවාහය සමස්ත රාජ්‍යය තුළම නීතිගත කිරීම තම අපේක්ෂාව බවයි.    

එහෙත්, තවමත් මෙක්සිකෝව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාව පිළිබඳ ගැටළු දැඩි අන්දමින් බලපැවැත්වෙන අතර, කාන්තා හිංසනය හා ප්‍රචණ්ඩත්වය ද දැඩි අන්දමින් ක්‍රියාත්මක වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි