සාගතයෙන් පෙළෙන උතුරු කොරියාවට දකුණෙන් සහල් ටොන් 50,000 යැවීමට සැලසුම් කරයි.
දශක කිහිපයකින් ඇතිවූ දරුණුම නියං සායෙන් උතුරු කොරියාව මේ වන විට පීඩා විඳිමින් සිටියි. මේ ඉඩෝරය හා සාගතය තවදුරටත් තීව්ර කර තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ අදූරදර්ශී මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පනවා තිබෙන සම්බාධක විසිනි.
උතුරු දකුණු සාමය වෙනුවෙන්ම දකුණු කොරියාවේ පිහිටුවා තිබෙන unification ministry හෙවත් ඒකාබද්ධ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ‘හැකි ඉක්මනින්‘ මේ සහල් තොගය උතුරු කොරියාව වෙත යැවීමට සැලසුම් කර ඇති බවයි. එම අමාත්‍ය කිම් යියොන්-චුල් ප්‍රකාශ කළේ, ‘‘උතුරු කොරියානු ජනතාවගේ දුක්ඛිත ඉරණම නොසලකා හැරීමට සිය ආණ්ඩවුට හැකියාවක් නොමැති බව‘‘ ය.
මෙම සහල් පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් අධීක්ෂණය කිරීමට ද නියමිත ය.
දකුණු කොරියාව විසින් උතුරු කොරියාවේ ජීවත් වන සාගින්නෙන් පෙළෙන මිනිසුන්ගේ කුස පුරවන්නට යන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර, අවසාන වතාවට මෙවැන්නක් සිදුවූයේ 2010 වසරේදී ය. නමුත් එවර දේශසීමා හරහා හුවමාරු කර ගැනුණේ සහල් ටොන් 5000 කි. එනම්, මේ වතාවේ එවන් 10 ගුණයක සහල් තොගයක් දකුණ විසින් උතුරට යවනු ඇත.
මීට අමතරව පසුගිය දිනවල දකුණු කොරියාව, උතුරු කොරියාවේ කාන්තාවන් හා දරුවන්ගේ පෝෂණය හා වෛද්‍යමය ආධාර වෙනුවෙන් ද අති දැවැන්ත පරිත්‍යාගයක් සිදු කළේය. එහිදී සියොල් (සෝල්) පාලනය විසින් පවුම් මිලියන 6.3 ක මුදලක් එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු වැඩසටහන් සඳහා ප්රදානය කළේය.
පසුගිය සතියේ පළ කරන ලද ජගත් සංවිධාන වාර්තාවකට අනුව, (UN report ) උතුරු කොරියානුවන් මිලියන 10 ක් මේ වන විට පසුවන්නේ උග්‍ර ආහාර අවශ්‍යතාවයකිනි.
එම ජගත් සංවිධාන වාර්තාවට අනුව
උතුරු කොරියාව මේ වන විට වසර 37 කින් ඇතිවූ දරුණුතම නියඟයට මුහුණ පා සිටියි. මේ නිසා අස්වනු හානිය ඉතා අධික වී ඇති අතර, මෙය රට පුරාම පොදු තත්වයක් බවට ද පත්ව තිබේ. 2008 වසරෙන් පසු උතුරු කොරියානු වගාබිම්වලින් අවම අස්වනු ප්‍රමාණය වාර්තා වූයේ ද 2018 වසරේදී ය.
මේ අනුව
1990 දශකයේදීද උතුරු කොරියාව ඉතාම දරුණු නියඟයකින් පීඩා වින්දේය. රටවැසියන් ලක්ෂ ගණනක් මෙහිදී ජීවිතක්ෂයට පත්වූහ.
උතුරු කොරියාව මිසයිල පරීක්ෂණවල නිරත වන්නේ ඇමරිකාවට පමණක් නොව දකුණු කොරියාවට ද රිදවන්නට ය. වියට්නාම් සමුළුවේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර අසීරුවෙන් ගොඩ නගාගෙන තිබූ හොඳ හිත ද තවදුරටත් බිඳ වැටුණේය. මේ අතර, ඔහු දැන් නැවතත් දකුණු කොරියානු ජනපති මූ ජේ ඉන් මුණ ගැසීම සඳහා සෝල් නුවර බලා යාමට ඉදිරි දිනවලදී සූදානම් වෙයි.
සියලු දේශපාලන බලපුළුවන්කාරකම් සහ කඹ ඇදිලි අතරවාරයේ දකුණු කොරියාව උතුර සමග සාමයට හා සංහිඳියාවට හැකි අයුරින් කැපවී සිටීම සතුටක් බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති. අවසානයේ මේ මරා ගන්නේ කොරියානු යුද්ධයෙන් දෙකඩ වූ තනි රටකි. දේ දෙරටේම ජීවත් වන්නේ කොරියානුවන් නමැති එකම ජන වර්ගයකි.