×

නත්තල් සුභපැතුමකින් හෙලිවූ ‘ටෙස්කෝ’ සමාගම නොකී රහස!

මනුස්ස ජීවිතයක් බේරා ගැනීම සඳහා මනුස්ස ජීවිතයක්ම බිලි දීම කෙතරම් දුරට සුදු මහත්තුරුන් ගේ උත්තරීතර ධනවාදයට දිරවන්නේ ද?


මේ වාර්තා වන්නේ ඇසුවන් හද කම්පනයට පත් කරන පුවතකි. ඒ ලන්ඩනයෙනි.

දකුණු ලන්ඩනයේ ටූටිං හි වසන ෆ්ලොරන්ස් විඩිකොම්බ් නම් සය හැවිරිදි කුඩා දියණියට නත්තල් සුභපැතුම් පත් අඩංගු ඇසුරුම් බහාලනයක් ලැබිණි. නත්තල් නිවාඩු කාලයේ පුන්‍ය කටයුතු සඳහා බෙදා හරින ටෙස්කෝ ලේබලය සහිත න්ත්තල් කාඩ්පත් එම ඇසුරුමේ අඩංගුව තිබිණි.


අමුතු නත්තල් සුභපැතුමක්???

පුංචි ෆ්ලොරන්ස් දියණිය එක් නත්තල් කාඩ්පතක් අතට ගෙන එය විවර කළාය. ඈ දුටුවේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි.

එහි සඳහන් ව තිබුණේ උදව් යදිමින් සිදු කළ ආයාචනයකි!

“අප චීනයේ ෂැංහයි නුවර කිංපූ නම් බන්ධනාගාරයේ වසන විදේශීය සිරකරුවන් වෙමු. බලහත්කාරයෙන් තබා ගනිමින් අපගෙන් වැඩ ගනු ලබයි. කරුණාකර අපට උදව් කරන්න මානව හිමිකම් සංවිධානයකට දැනුම් දෙන්න.”

එම නත්තල් සුභපැතුම් පතේ සඳහන්ව තිබූ පණිවුඩය එවැන්නකි.

මෙම පුවත පළමු වරට කියවන ඔබට දැනුණේ කුමක්ද? එය භීතියක් කිවහොත් වඩා නිවැරදි නොවන්නේද?

සීතල නත්තලේ ආදරය, සාමය, සතුට හා සමාදානය බෙදා ගැනීමට නත්තල් සුභපැතුම් පතක් අතට ගත් කුඩා ෆ්ලොරන්ස් දියණියට ඇතිවූ හැඟීම කෙබඳුද?


මේ කාඩ්පත් කුමටද?

පුන්‍ය කටයුතු සඳහා බෙදා හරින නත්තල් කාඩ්පත් ඇතුලත් ඇසුරුම මිළදී ගන්නට ඇත්තේ පුංචි ෆ්ලොරන්ස් දියණියගේ දෙමාපියන් වන්නට ඇත. එක් කාඩ්පතක් විවර කළ ඈ හට පුළුන් වන් සුදු නත්තල් සීයා ගේ රූව අසල දකින්නට ලැබූ අඳෝනාව කියා පෑවේ සීතල නත්තල පිටුපස වූ අමිහිරි යතාර්ථයකි.

බ්‍රිතාන්‍ය හෘද පදනම (British Heart Foundation), බ්‍රිතාන්‍ය පිළිකා පර්යේෂණ ආයතනය (Cancer Research UK) හා බ්‍රිතාන්‍ය දියවැඩියා පදනම (Diabetes UK) වැනි පුන්‍ය ආයතන වලට අරමුදල් එක්රැස් කිරීම සඳහා නිශ්පාදනය කෙරෙන මෙම නත්තල් සුභපැතුම් පත් සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ ටෙස්කෝ (TESCO) සමාගම විසිනි. මෙමඟින් ඩොලර් 300,000 කට වඩා වැඩි මුදලක් එකී පුන්‍ය ආයතන සඳහා ලැබෙන බවට වාර්තා වේ.

ටෙස්කෝ යනු බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළඳසැල් අතර ප්‍රමුඛතාවක් ගන්නා ව්‍යාපාර දාමයකි.

එහෙත්… මෙම නත්තල් සුභපැතුම් පත් ඇසුරුම් කිරීමේදී අනුගමනය කෙරෙන ක්‍රියා පිලවෙත ටෙස්කෝ සමාගම නොදැන සිටියා විය හැකිය. ටෙස්කෝ සමාගම සෘජුව ගනුදෙනු කරන්නේ සිය සැපයුම්කරුවන් සමඟ පමණකි.

මෙකී නත්තල් සුභපැතුම් පත් ඇසුරුම් කිරීම සිදුවන්නේ චීනයේ ය. මෙම සිදුවීමත් සමඟ හෙලිදරව් වූයේ නත්තල් සුභපැතුම් පත් ඇසුරුම් කිරීම සඳහා චීනයේ සිරගත කළ පුද්ගලයින්ගේ කම්කරු ශ්‍රමය බලහත්කාරයෙන් යොදා ගන්නා බවයි.


පීටර් හම්ෆ්‍රි

නත්තල් කාඩ්පත තුළ තිබී ෆ්ලොරන්ස් දියණිය සොයාගත් පණිවුඩයේ තවත් වැදගත් කරුණක් ඇතුලත්ව තිබිණි. ඒ, මෙම පණිවුඩය කියවන තැනැත්තා පීටර් හම්ෆ්‍රි නම් තැනැත්තා සම්බන්ධ කර ගන්නා ලෙසයි.

කවුද මේ පීටර් හම්ෆ්‍රි? ඔහු ද චීනයේ වසර දෙකකට ආසන්න කාලයක් එම බන්ධනාගාරයේම සිරබත් කෑ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකි. ඔහු 2015 ජූනි මස නිදහස ලබා ආ තැනැත්තෙකි.

පණිවුඩය ලද සැසින් ෆ්ලොරන්ස් දියණියගේ පියා පීටර් හම්ෆ්‍රි නම් මාධ්‍යවේදියා ඇමතීමට කටයුතු යොදා ඇත. මේ හරහා ඉහත කී නත්තල් සුභපැතුම් පතේ අඩංගුව තිබූ තොරතුර සත්‍ය බවට තහවුරු කර ගෙන තිබේ.

හම්ෆ්‍රි මහතා තමා සමඟ අදාල බන්ධනාගාරයේ හිටපු වෙනත් සිරකරුවන් සම්බන්ධ කොට ගෙන මේ පිළිබඳ තොරතුරු විමසා ඇති අතර, එහිදී හෙලිදරව් වී තිබෙන්නේ සිරකරුවන් කම්කරු ශ්‍රමය සඳහා බලහත්කාරයෙන් යොදා ගැනීම කලක පටන් චීනයේ සිදුවන බවයි.

මේ අනුව, ටෙස්කෝ සමාගමේ නත්තල් සුභ පැතුම් පත් ඇසුරුම් කිරීමේ කාර්යභාරය සඳහා චීනයේ කිංපූ බන්ධනාගාරයේ සිරකරුවන් යොදා ගැනීම වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිදුව ඇති බව හෙලිවී තිබේ.


ටෙස්කෝ හි ප්‍රතිචාරය

එම බන්ධනාගාරයේ වසන විදේශීය සිරකරුවන් විවිධ මාදිලියේ කාඩ්පත් තොරා ගනිමින් වෙන වෙනම ඇසුරුම් කොට මුද්‍රා තබා නැව් වලට පැටවීම සිදුකරන බවට මෙහිදී හෙලිවී ඇත.

මෙම පුවත අන්තර්ජාලය ගිනිබත් කිරීමට සමත්විය. ඒ සමඟ ටෙස්කෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරියක් සිය  විශ්මය සහ කම්පාව ප්‍රකාශ කර සිටි අතර, වහාම අදාල සේවා ස්ථානය වසා දැමීමට කටයුතු කළ බව දැනුම් දුන්නාය. නත්තල් සුභපැතුම් පත් ඇසිරීම සඳහා සිරකරුවන් යොදා ගන්නා බවට තම සමාගම කිසිවිටක දැන නොසිටි බව ද ඈ අවධාරණය කළාය.

එමෙන්ම මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් දියත් කිරීමට කටයුතු කරන බව ද ඈ පවසා සිටියාය.

බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදී පීටර් හම්ෆ්‍රි මහතා

“අප සතුව පුළුල් විගණන පද්ධතියක් තිබෙනවා, අපගේ සැපයුම්කරු පසුගිය මාසය තුළ ස්වාධීන විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. එහෙත් කිසිවිටක එහි බන්ධනාගාර ශ්‍රමය යොදා ගන්නා බවට සඳහන් ව තිබු‍ණේ නැහැ,” ඈ වැඩිදුරටත් පවසා සිටියාය.

කෙසේවෙතත්, පරීක්ෂණ තුළින් මේ පිළිබඳ තොරතුරු තහවුරු වුවහොත් වහාම සැපයුම්කරු ඉවත් කිරීමට කටයුතු කරන බවද ඈ අවධාරණය කර සිටියාය.


ප්‍රශ්නය එතනින් අවසන් ද?

කම්කරු ශ්‍රමය සූරා කෑම හා බලහත්කාරයෙන් කම්කරුවන් සේවයේ යෙදවීම පිළිබඳ විවිධ තොරතුරු චීනය, උතුරු කොරියව වැනි රට වලින් විටින් විට වාර්තා වේ. ඒ, සිය ආර්ථිකය කලමනාකරණය කර ගැනීමේ පහත් උපායමාර්ගයක් වශයෙනි.

පරිභෝජනවාදී සමාජ ක්‍රමයක් තුළ පිරිසකගේ සුඛ විහරණය සඳහා තවත් පිරිසක් වහලුන් මෙන් කටයුතු කිරීමට සිදුව තිබීම කණගාටුවට කරුණකි. නුදුරේ දිනක ටෙස්කෝ ආයතනය විසින් ඉහත කළ අනාවරණයට අදාල පරීක්ෂණයක් දියත් කරනු ඇත. තොරතුරු වල සත්‍යතාවය තහවුරු වුවහොත් අදාල සැපයුම්කරු නෙරපා හරිනු ඇත. එහෙත්.. යකඩ කූරු අතරට සිරවී අඳෝනා නඟන ඒ සිරකරුවන්ට සිදුවන්නේ කුමක්ද?

ධනවාදය, දක්ෂිණාංශික මතවාදය, හෝ පරිභෝජනවාදය සුදු මහත්තුරුන් හට ඉගැන්වීමට යෑම කලු ගලක ඔලුව සපා ගැනීමෙන් වෙනස් වන්නේ නැත. එහෙත්, මෙම සිදුවීමත් සමඟ ටෙස්කෝ සමාගමට සිතීමට යමක් ඉතිරිව තිබේ.

ඒ.. මනුස්ස ජීවිතයක් බේරා ගැනීමට අරමුදල් එක් රැස් කරන පුන්‍ය ආයතනයක් සඳහා ලෝකයේ වෙනත් කොනක මනුස්ස ජීවිතයක්ම බිලි දීම කෙතරම් දුරට ඔවුන්ගේ උත්තරීතර ධනවාදයට දිරවන්නේ ද යන්නයි..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි