×

www.outboundtoday.com අපට අදට වසර 2 යි!

වැඩි කලබලයකින්ද, තොරතෝංචියක් නැතිව දොඩමළු වීමකින්ද, වහසි බස් දෙඩීමකින්ද තොරව අවුට්බවුන්ඩ් ටුඩේ නමැති දරුවා දේශසීමා ඉක්මවා යමින් සෙමෙන් වැඩෙමින් තිබේ.


‘‘මායිම් අප වෙන් කළද බලාපොරොත්තුව අප එක් කරයි‘‘ තේමා පාඨය සහිතව අවුට්බවුන්ඩ් ටුඩේ තවදුරටත් පාඨක මනස තුළ ලැගුම් ගනිමින් – අද රාත්‍රියේ 2 වන වර්ෂ පූර්ණයට එළඹෙන අයුරු අප බලා සිටින්නේ නිහතමානී සතුටකින් යුතුව ය.

එදා අප අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය ආරම්භ කරන දිනයට හරියටම වසරකට පෙර, එනම් 2016 දෙසැම්බර් 25 වැනිදාව, ‘ලාස්ට් ක්‍රිස්මස්‘ ගීතය ගැයූ අසහාය ගායක ජෝර්ජ් මයිකල් ගේ ද අවසන් නත්තල විය. ඔහු නිදියහනේදීම මෙලොව හැර ගියේය. ‘කෙයාලස් විස්ෆර්‘, ‘Last Christmas‘, Wake Me Up Before You Go-Go‘ වැනි ජෝර්ජ් මයිකල් විසින් ගයන ලද ගීත අතර ‘Father Figure’ නමැති – ඉතා අඩුවෙන් ප්‍රේක්ෂකයන් විසින් අවබෝධ කර ගත් ගීතයක් වේ.

බැලූ බැල්මට සිය සිත්ගත් පෙම්බරියගෙන් රාගාන්විත ආලයක් අයැදින ගීයක් ලෙස පෙනුණත් මේ ගීය Faith ඇල්බමයට ලියා නිෂ්පාදනය කරන 1987 වසර වන විට ජෝර්ජ් මයිකල් තමන්ගේ කායික සහ මානසික පරම ආකර්ෂණය පවතින්නේ ස්ත්‍රීන් වෙත නොව පුරුෂයන් වෙත බව අවබෝධ කර ගෙන සිටියේය. සුන්දර ඩයනා කුමරිය පවා ඔහුට පෙම් කළ බව රහසක් නොවේ. ජෝර්ජ් මයිකල් පසුකලෙක මේ ගීය ගැන අපූරු දෙයක් කීවේය. ඔහු පැවසුවේ, තමන් වෙත ස්ත්‍රීන් ආකර්ෂණය වන්නේ ‘තමන් තර්ජනාත්මක නොවන බව‘ ඔවුන්ට දැනෙන නිසා බව ය. ඔවුන් පතන නිදහස සහ ආදරය ඔහු ළඟ ඇති බව ඔවුන්ට දැනෙන නිසා බව ය. ඒ අර්ථයෙන් ගත් කල ජෝර්ජ් මයිකල් සංගීත ක්ෂේත්‍රයට මතු නොව මුළු මහත් මනුෂ්‍ය සංහතියටම ‘පියෙකුගේ ප්‍රතිරූපය‘ක් (‘Father Figure’) විය. මනුෂ්‍යත්වයේ නියමුවෙකු විය.

https://giphy.com/gifs/thegrammys-george-michael-vW5wLwzHBKrm0

අති මහත් වචන සම්භාරයක්, අතිශය භාවාත්මක හඬින් සහ කලබලකාරී නොවන ආවේගයකින් සුගායනා කරමින් ඔහු මේ ගීතයේදී සැබවින්ම අදහස් කරන්නේ එය බව අවුට්බවුන්ඩ් ටුඩේ අපි ද විශ්වාස කරමු. මනුෂ්‍යත්වයේ නියමුවා බවට පත්වීමේ ඒ අදිටන අවුට්බවුන්ඩ් ටුඩේ හි ද ආදර්ශ පාඨයයි. කාලගුණික විපර්යාස පිළිබඳ හදිසි තත්වය (ක්ලයිමේට් ඉමර්ජන්සි) වැනි ජනප්‍රියවාදී නොවන මාතෘකා කෙරෙහි ලිබරල් දැක්මකින් යුතුව අප තවදුරටත් යොමු වී සිටින්නේ ඒ නිසා ය. හුදෙක් විශ්වකෝෂ සම්ප්‍රදායෙන් මිදී නව ලොව ප්‍රවණතා අනාගතවාදී දැක්මකින් යුතුව අප ඔබ වෙත තිළිණ කරන්නේ එනිසා ය.

සමාජයේ වැදගත් හැඩතලයන් මවන, සමාජ මෙහෙවර සමග කාර්යබහුල වී සිටින, විශාල විභවයන් සහිත කුඩා කණ්ඩායමක් සමග අවුට්බවුන්ඩ් ටුඩේ සීරුවෙන් පැමිණියේ අසීරු මාවතක නොවේ යැයි අපි නොකියමු. නියෝජ්‍ය කර්තෘ හංසනී සම්පත්, ඉසුරු පරාක්‍රම, ඡවිනි අභයසිංහ, අමාලි ජයවීර, ක්‍රිෂාන්ති රාජපක්ෂ ඇතුළු සහෘදයන් මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයට වැඩි බරක් තබමින් සිටින බව සිහිපත් කරන්නේ කෘතඥපූර්වකව ය. තාක්ෂණික මෙහෙයුම් ගිහාන් – GFellaLab වෙතින් වන අතර, සමාජ ජාල මෙහෙයුම් දිනෙත් ජයවර්ධනගෙනි. අවුට්බවුන්ඩ් ටුඩේ මෙසේ දෙවර්ෂ පූර්ණය දක්වා ඔසවා තැබූ ඇතැමුන් අපේ කණ්ඩායම සමග අද නැතත්, ඔවුන් විසින් අවුට්බවුන්ඩ් ටුඩේ හි නිර්මාණ හදවත උණුසුම් කළ අයුරු අපගේ සදා මතකයේ රැඳී තිබේ.

මේ අතර, අද වන විට www.outboundtoday.com/ ගොසිප් අඩවි ඇතුළු දේශීය වෙබ් අඩවි දහස් ගණනකට වඩා ඉදිරියෙන් රැඳී සිටින්නේ පාඨක ඔබගේ ආශිර්වාදය අප සමග පවතින හෙයිනි. එනිසා, සැමදා අපගේ පළමු තුති මල් මිට, අවුට්බවුන්ඩ් ටුඩේ පාඨක ඔබට ය.

– රදිකා ගුණරත්න | Radika Gunaratne
කර්තෘ – අවුට්බවුන්ඩ් ටුඩේ – www.outboundtoday.com/

[embedyt] https://www.youtube.com/watch?v=m_9hfHvQSNo[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි