ජපානය විසින් චීන ජාතිකයෙකු හට මරණ දඬුවම ලබාදී තිබේ.
ඒ, එල්ලා මරා දැමීම මගිනි.
මෙසේ එල්ලා මරා දමා තිබෙන්නේ වෙයි වෙයි නමැති චීන ජාතිකයෙකි.
2003 වසරේදී මිනීමැරුම් 4 ක් කළ බවට එල්ල වූ චෝදනාවලින් ඔහු වරදකරු බවට පත්විය.
අධිකරණ අමාත්‍යවරිය (ඉහත ඡායාරූපයේ) මසාකෝ මොරි පැවසුවේ, සියලු කරුණු ප්‍රවේශමෙන් සලකා බලා මෙම තීරණය ගත් බවයි. ඔහු විසින් ඝාතනය කළ එකම පවුලේ අය අතර වයස අවුරුදු 8 සහ 11 හි දරුවන් ද සිටීම මෙහිදී විශේෂ සැලකිල්ලට බඳුන් විය.
ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යෙයකු ලෙස ජපානයට පැමිණි චීන ජාතික වෙයි වෙයි, මරණ දඬුවමට ලක් වන විට 40 හැවිරිදි විය. ෆකුහෝකා නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් ඔහු හා ඔහුගේ සගයන් විසින් කොල්ල කෑමේදී මෙම අපරාධ සිදු කර තිබිණි.
එහිදී ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සහ දරුවන් දෙදෙනාගේ ගෙළ සිරකර මරා දමා, ව්‍යාපාරිකයාගේ බිරිඳ නාන තටාකයේ ගිල්වා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. පසුව හෙළිවූයේ ඔවුන් සිව් දෙනාගේම සිරුරු අකතා බොක්කේ ගිල්වා ඇති බවයි.
මේ වන විට ජපානයේ සිරකරුවන් 100 දෙනෙකුට අධික පිරිසක් මරණ දණ්ඩනයට නියම වී සිටිති.
පසුගිය වසරේදී 15 දෙනෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ද සිදුවිය. ඒ අතර, 1995 වසරේදී ටෝකියෝ උමං දුම්රියට විෂ වායු ප්‍රහාරය එල්ල කළ ඕම් ෂිම්රිකෝ නිකායේ සාමාජිකයන් 13 දෙනෙකු ද වූහ.
ජපානය, මරණ දඬුවමට ලක්වන පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීම ආරම්භ කළේ 2007 වසර තරම් මෑතකදී ය. එදා පටන් මේ දක්වා විදේශිකයන්ට ජපානය තුළදී මරණ දඬුවම හිමි වූ එකම අවස්ථාව ලෙස මෙය සැලකේ.
පසුගිය සමයේ මරණ දණ්ඩනය ශ්‍රී ලංකාවේ ද උණුසුම් මාතෘකාවක් බවට පත්වූයේ, නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නැවත නැවතත් ප්‍රකාශ කිරීමත් සමග ය.
පහත දැක්වෙන්නේ 2017 වසරේදී ලොව පුරා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර තිබූ ආකාරයයි.
රාජ්‍යයන් විසින් ඇතැම්විට නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටින නිසා, මේ සඳහා පදනම් කර ගෙන ඇත්තේ ඇම්නේස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය) විසින් පළ කළ සංඛ්‍යා ලේඛනයන් ය. මෙහිදී පැහැදිලිවම පෙනී යන්නේ ලොව පුරා සිදුවූ මරණ දණ්ඩනයන්වලින් 84%කටම වග කිව යුත්තේ රටවල් 4 ක් බවයි.
ඇම්නේස්ට් ඉන්ටනැෂනල් දත්තවලට අනුව,
රටවල් 106 ක නීතිය මගින් මරණ දණ්ඩනයට ඉඩ ලබා දී ඇත.
රටවල් 7ක්, යුධ කාලය වැනි ව්‍යාතිරේඛී කාලවලදී සිදුකරන බරපතළ අපරාධ සඳහා පමණක් මරණ දණ්ඩනය නියම කරයි.
රටවල් 29ක නීතිය මගින් මරණ දණ්ඩනය තවදුරටත් සක්‍රියව ඇති නමුත්, ගතවූ දශකය තුළ කිසිවෙකු මරණ දණ්ඩනයට ලක් කර නැත. ශ්‍රී ලංකාව ද මෙයට අයත් වේ.