×

ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනක් වෙසෙන ඉතාලිය – වැඩිම කොරෝනා අවදානමක් සහිත ආසියාතික නොවන රට ලෙස නම් කෙරේ

ඊයේ දිනය වන විට ඉතාලියේ කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ සංඛ්‍යාව 50%කින් ඉහළ ගොස් තිබේ.


ඒ, ආසියාතික නොවන රටකින් වාර්තාව වන ඉහළම කොරෝනා අවදානම සමගිනි.

ඉතාලියේ සිවිල් ආරක්ෂණ අධිකාරිය පවසන ආකාරයට මේ වන විට ඉතාලිය තුළ සිටින තහවුරු කර ගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1694 කි. ඉරිදා දිනයේ මේ සංඛ්‍යාව වාර්තා වූයේ, සෙනසුරාදා දිනයේ එම අගය 1,128 ක් ලෙස පැවතියදී ය.

ඉතාලිය තුළ 34 දෙනෙකු මේ වන විට කොරෝනා රෝගය හේතුවෙන් මිය ගොස් තිබේ.

ඩෙල්ටා එයා ලයින්ස් විසින් මිලාන් නගරය වෙත පැමිණෙන ඇමරිකානු ගුවන් වාර අවලංගු කරනු ලැබ ඇත. රෝමය වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා තවමත් එබඳු සීමා කිරීමක් සිදු කර නොමැති බව ද දැක්වේ.

මිලාන් නගරයේ සුප්‍රසිද්ධ ලා ස්කාලා (La Scala) ඔපෙරා රඟහල ද කොරෝනා අවදානම හේතුවෙන් මාර්තු 8 වැනිදා වන තෙක් වසා දැමීමට තීරණය කර ඇත.

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතද?

ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් 30,000 – 50,000 අතර ප්‍රමාණයක් වෙසෙති. ඔවුන්ගෙන් බහුතරය දිවි ගෙවන්නේ මිලාන්, නාපොලි, වැනීසිය, රෝමය ඇතුළු නගරවල ය. මිලාන් නගරය මේ වන විට කොරෝනා තර්ජනයට මුහුණ දී සිටින බව ඉහත විස්තරය අනුව පැහැදිලි වේ.

ඉතාලියේ සිට ලංකාවට පැමිණි කිහිප දෙනෙකු සෙම්ප්‍රතිශ්‍යාව (ෆ්ලූ)ට සමාන රෝග ලක්ෂණ දැක්වූ හෙයින් ඔවුන්ව රාගම, ශ්‍රී ජයවර්ධන සහ අංගොඩ උණ රෝහල වෙත යවා නේවාසික ප්‍රතිකාර ලබාදුන් බවට ද මාධ්‍යවල වාර්තා පළ විය.

කෙසේ නමුත් මෙයට දින 3කට පෙර ඉතාලියේ ඇති ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වැළඳී නොමැති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි