×

ශතවර්ෂයක් පුරා අප දෙස බලා සිටි විනාශකාරී වසංගතය – මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන්ගේ අනාවැකිය

කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වූ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා, කොරෝනා වසංගතය වෛරසයක් සේ ලොවට පැමිණෙන බව පැහැදිළිවම, සාක්ෂි ඇතිවම, වහෙන් ඔරෝ නැතිවම, විද්‍යාත්මක සාධක මත 2019 නොවැම්බර් 25 වන දින නිගමනය කර තිබේ.


මෙය ජ්‍යෝතිෂ අනාවැකි ආකාරයේ වචන සිය ගණනක රචනාවක් අස්සේ, “රෝගී තත්ත්ව ඇතිවේ” යන වචන කීපයක් කීමක් නොව, ඉතා කෙලින් 100% ක් නිරවද්‍ය සේ කරන ලද අනාවැකියක් බව පහත ලින්ක් වලින් පැහැදිළිය.

කොරෝනා වෛරසය මතු වීමට සති කිහිපයකට පෙර ඔහු පහත සඳහන් දැඩි අනතුරු ඇඟවීම කළේය. ඔහු මෙසේ කියා ඇත.

“දත්ත පදනම් කරගෙන, ඉදිරි මාස කිහිපය තුළ නව වෛරස් ප්‍රභවයන් මතුවනු ඇතැයි අපේක්‍ෂා කිරීම සඳහා ප්‍රාථමික මුහුණුවරක් ඇති බවක් පෙනෙන්නට ඇති අතර, එබැවින් ලොව පුරා සිටින මහජන සෞඛ්‍ය අධිකාරීන් සුපරීක්ෂාකාරී විය යුතු අතර, අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයකට සූදානම් වීම වැදගත් වේ. 1918 විනාශකාරී ඉන්ෆ්ලුවෙන්සා වසංගතයේ අවතාරය ශතවර්ෂයක් පුරා අප දෙස බලා සිටින බව මතක් කර දීමට අපහසුය.”
– Current Science, November 25, 2019

බොහෝ විස්තර සහ තවත් අතුරු මාතෘකා ඇති ඒ නිබන්ධනයේ මෙසේ කෙටියෙන් දැක් වේ. හුදෙක් මේ ක්‍ෂේත්‍රයට කැමති කෙනෙක් විසින් පමණක් කියවන්නට ඉඩ ඇති එය නීරස නිබන්දනයකි.

වෛද්‍ය විද්‍යාව පුරුදු වී නැති වුවද, ඉතිහාසය පුරාම අපේ මුතුන් මිත්තන් වසංගත අනතුරු ඇඟවීම් සඳහා අහස දෙසට හැරීමට නැඹුරු විය. සූර්යයා පැහැදිලිවම මෙහි විශේෂ කාර්ය භාරයක් දරයි. අපගේ ජීවිත වල සෑම අංශයකම වැදගත් කාර්යභාරයක් ඈත ග්‍රහ වස්තු නිසා සිදු වේ. නිදසුන් වශයෙන්, වසංගත සහ ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් වෛරස් පැතිරීම් සම්බන්ද සුප්‍රසිද්ධ අවුරුදු 11 සමඟ හිරු ලප සම්බන්ධිතය ගැන අප දන්නෙමු.

එහෙත් ඒ කරුණු දෙකේ විද්‍යාත්මක සම්බන්දය මෙතෙක් අපැහැදිළි වුවද [Empirical truth] එහි සම්බන්දයක් ඇත.

අවකාශය ගවේෂණය සහ අඛණ්ඩ අධීක්ෂණය හරහා අභ්‍යවකාශ කාලගුණය අවබෝධ කර ගැනීමට අද හැකි වී ඇත. ගැඹුරු හිරු ලප ඇතිවන කාලයේ පෘථිවියේ චුම්බක ගෝලය සහ ඒ අවට ඇති අන්තර් ග්‍රහ චුම්භක ක්ෂේත්‍රය සූර්ය සුළඟින් වෙනස් කරන අතර එය අනෙක් අතට ආරෝපිත අංශුවල ප්‍රවාහය පාලනය කරයි. මේ හිරු ලප ඇති කාල වලදී සංනිවේදන ක්ෂේත්‍ර වල භාවිතා කරන ගුවන් විදුළි තරංග වලට බාධා පැමිණෙන බව අප සිය වසක් පමණ කාලයක් තිස්සේ දනිමු.

සාමාන්‍යයෙන් චුම්භක දුර්වල වීමක් වන්නේ කොස්මික් ප්‍රවාහයේ වැඩි වීමක් සමඟය. විද්‍යුත් වශයෙන් ආරෝපිත අන්තර් තාරකා සහ අන්තර් ග්‍රහලෝක දූවිලි අංශු, ජීව විද්‍යාත්මක වස්තූන් වලට බලපෑමක් ඇති කරයි. ඒ ගැන අප දැනුවත් විය යුතුයි.

ඊළඟට ඇතිවන්නාවූ හිරු ලප චක්‍ර 24 සහ 25 වන චක්‍ර සේ කියන අතර, අවම අගය ඒ අනුව පුරෝකථනය කරන ලදි. මෙය 2019 ජූලි සිට 2020 සැප්තැම්බර් දක්වා කාලය තුළ සිදුවනු ඇත. (පළමු ලින්ක් එකේ රූපය 1). සමහර විට, අපට අවම වශයෙන් ශතවර්ෂයක් ඇතුළත තිබෙන ගැඹුරුම හිරු එළිය හෙවත් වඩාත් ‘අපිරිසිදු’ කිරණ එහි ඇති වී තිබේ. එනම් මේ ශත වර්ෂයේ ඇතිවන අවම ගැඹුරුම හිරු ලප හෙවත් අඩුම ලප නොමැති සතිය ආරම්භ වනු ඇත.

එම දත්ත අනුසාරයෙන් කිව හැක්කේ, ඉදිරි මාස කිහිපය තුළ නව වෛරස් වර්ග මතුවීමට ඉඩ ඇති අතර එය විචක්ෂණශීලී සේ නිරීක්ෂණය කළ යුතු වනු ඇත. ලෝකයේ මහජන සෞඛ්‍ය අධිකාරීන් සුපරීක්ෂාකාරී වීමට සහ ඕනෑම දෙයක් සඳහා සූදානම් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. 1918 වසරේ ස්පාඤ්ඤ උණ සේ පැමිණි අවතාරය මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.

“ඒ විනාශකාරී ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ශතවර්ෂයක් පුරා අප දෙස තවමත් බලා සිටී” සේ ඔහු මේ නිබන්ධනයේ ලියා ඇත.

අද දින වෛද්‍ය විද්‍යාවේ බහුලව කියැවෙන ‘Super spreader’ සංකල්පය ඔහු පිළිකෙව් කරයි. වෛරසය පැමිණ ඇත්තේ අභ්‍යාවකාශයෙන් බව ඔහුගේ මතය වේ. ඔහුට මේ නිගමනයට ඒම සඳහා සූර්යාලෝක පිළිබඳ දත්ත සහ හිරු ළප දර්ශකය මෙන්ම දිගු කාලීන සූර්ය නිරීක්ෂණ, ලෝකයේ විසිරුණු විද්‍යාගාර වලින් සපයනු ලද්දේය. ඉන් එකක් වූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් හී රාජකීය අහස් නිරීක්ෂණාගාරය වේ.

ඊළඟ අවුරුදු තිහ තුළ වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ මිතුරා වූ දිවංගත, ‘ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල්’ විසිවන සියවසේ තාරකා විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා වෛද්‍ය මතය පිළිබඳ සම්මුතිය සමඟ එතිහාසික වශයෙන් වැදගත් විද්‍යාත්මක එකඟතාවයක නිරත වූහ. “පැන්ස්පර්මියාව” [Panspermia] සහ අභ්‍යවකාශයේ ඇති වන රෝග පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි අන් අයගේ සමච්චලයට ලක් විය.

“පැන්ස්පර්මියාව” යනු ලෝකයේ පවතින ජීවිතය ආරම්භ වූයේ අභ්‍යවකාශයේ සිට පැමිණි ක්ෂුද්‍ර කොටස් සහ රසායනිකයන් [microorganisms or chemical precursors] ගෙන් යන මතය විය.

ඔවුන්ගේ අදහස් සක්‍රීයව යටපත් කරන ලද අතර ඔවුන්ගේ සම වයසේ මිතුරන් ඔවුන්ගේ කාර්යයන් වගකීමෙන් යුතුව සමාලෝචනය නොකර අතහැර දැමීය. නමුත් මහාචාර්ය වික්‍රමසිංහ මහතා සහ ෆ්‍රෙඩ් හොයිල් ඉන් සැලුණේ නැත. ඔවුන් ඒ මතය ගැන විද්‍යාත්මක නිබන්දන 70 ක් පමණ ඉදිරිපත් කළහ. පසු කලෙක කරන ලද පරීක්ෂණ ඇසුරෙන් ඔවුන් කියන කාරණයේ සත්‍යතාවය සනාථ විය.

එනම් රුසියානු පර්යේෂකයන් විසින් ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම මගිනි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ [ International Space Station (ISS) ], බාහිර පෘෂ්ටයේ අවස්ථා කිහිපයකදී [2013 සහ 2017] ධූමකේතුව පිළිබඳ හොයිල්-වික්‍රමසිංහ න්‍යායට අනුබල දෙන සාක්ෂි ලැබිණි. ජෛවගෝලයක් තුළ විහිදෙන සම-පරිණාමය සහ ජාන හුවමාරුව පිළිබඳ සාක්ෂි ඒවා ලෙස දැකිය හැකිය. මෙය ඒ තරම් ඉහලක එනම් කිලෝ මීටර් 400 ක සිදුවේදැයි කෙනෙක් තර්ක කරනු ඇත.

එහෙත් එය විය හැකි බවට අයනගෝලය සහ ට්‍රොපොස්පියර ගෝලය අතර සිද්ධාන්තයක් පසුව සොයා ගෙන ඇත.

මහාචාර්ය තුමා, ඉහළ පස්වන චේදයේ අපේ මුතුන් මිත්තන් ගැන කියන වදන් සම්බන්දව කුතුහලයක් උපදී. ඔහු එසේ කියන්නේ පසුගිය දෙසැම්බර් 26 දින ඇති වූ සූර්ය ග්‍රහණය ගැනද? ඒ අපේ මුතුන් මිත්තන් කියන්නේ නම් සූර්ය ග්‍රහණයක් ලොවට අශුභ ගෙන දෙන බව සහ ඒ අවස්ථාවේ අහසේ චලනය වන ග්‍රහයන් නම දෙනා සිටින සිටින නක්‍ෂත්‍ර ගැන විමසිළිමත් විය යුතු බවයි.

එදින ග්‍රහ මණ්ඩලයේ ‘රෝගියා’ යයි සම්මත, වසංගත රෝග ගෙන දෙන කේතු ග්‍රහයාගේ ‘මුල’ නම් වූ නැකතේ, හිරු ඇතුළු ග්‍රහයන් හතර දෙනෙක් ගමන් කළේය. ලෝකයේ කොහේ හෝ තැනකට ආලෝකය ලබාදෙන හිරු මෙන්ම ගුරු, බුද සහ සිකුරු ග්‍රහයන්ද ඒ අවස්ථාවේ සඳුට මුවා වී තිබිණ.

මෙය කෙනෙක්ට මෙසේ සංසන්දනය කළ හැක. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් රෝගීන් සනීප වුවද, ආයුර්වේදය නිසාද රෝගීන් සුවපත් වේ. බටහිර වෛද්‍ය විද්‍යාව ආවර්තිතා වගුවේ ඇති 118 ක් මූලද්‍රව්‍ය පිළිගෙන, ඒ මත ඉදිවූ රසායනික විද්‍යාව ගුරු කොට ගෙන සෞඛ්‍යය සඳහා ප්‍රවේශ වී ඇත. එහෙත් ආයුර්වේදයේ සෞඛ්‍ය ක්‍රම නිර්ණය සඳහා භාවිතා කරන්නේ, ආපෝ තේජෝ වායෝ පටවි යන භූතයන් හෙවත් ‘තත්ත්ව’ මත රැඳුනු, වා පිත් සෙම් යන ශරීරය සමබරව ඇති කොටස්ය.

එසේ වුවද ආයුවේදය පිළිගත් වෛද්‍ය ක්‍රමයක් වුනා පමණක් නොව ඉන් රෝගීන් සුවපත්වන බවත් ලොවට එය මහඟු උපකාරයක් බවද දනිමු. එනම් ගන්නා මූලාශ්‍ර අදාළ නැත. අවසානයේ ලැබෙන ප්‍රතිඵලය වැදගත්ය.

මේ අයුරෙන්ම අපගේ පැරැන්නන් විසින් භාවිතා කල ජ්‍යෝතිෂ නියාමයන් සම්පූර්ණයෙන්ම බැහැර කල හැකිද යන්න පිලිබඳ ගැටළුවක් මතුවේ.

– ජ්‍යෝෆ්‍රී බේකන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි