×

ඇමරිකානු ජනාධිපතිවරණය නිසා ෆේස්බුක් නීති දැඩි වේ – ප්‍රචාරණ දැන්වීම් ලක්ෂ 22 ක් ඉවතට

ඇමරිකානු ජනාධිපතිවරණය හේතුවෙන් දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ෆේස්බුක් සමාජ ජාලය යොදාගැනීම සම්බන්ධ නීති දැඩි කර තිබේ.


ෆේස්බුක් හි නියෝජ්‍ය සභාපති සහ, හිටපු එංගලන්ත නියෝජ්‍ය අගමැතිවරයෙකු ද වන නික් ක්ලෙග්, ගාඩියන් පුවත්පත සමග පැවසුවේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පෝස්ට් මිලියන 2.2 ක් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බවයි.

තවද ‘ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා කරන‘ පෝස්ටු 120,000 ක් ඉවත් කිරීමට ද පසුගියදා කටයුතු කර තිබේ.

මෙයට අමතරව, ‘ව්‍යාජ තොරතුරු‘ සහිත පෝස්ට් මිලියන 150 ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය අනිසි ලෙස යොදාගැනීම, කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීම යනාදියෙන් පසුව මේ වන විට මෙවැනි තත්වයන් ගැන ෆේස්බුක් පසුවන්නේ ඉතා සෝදිසියෙනි. රුසියාවේ සිට ආරම්භ කළ මෙහෙයුමක් මගින් ඇමරිකානු ඡන්ද දායකයන්ගේ දත්ත නීතිවිරෝධී ලෙස එක්රැස් කර, ඔවුන්ව ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසිදායක වන පරිදි මෙහෙයවා ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

බ්‍රිතාන්‍යයේ 2016 බ්‍රෙක්සිටි ජනමත විචාරණය සමයේදී ද යුරෝපය කේන්ද්‍රකරගෙන මේ අන්දමින්ම ඩොලර් මිලියන ගණනක් වැය කරමින් සංවිධානාත්මක සමාජ ජාල ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බව අනාවරණය වී ඇත.

ෆේස්බුක් සේවකයන් 35,000 ක් සෝදිසියට යොදවලා

‘‘සේවකයන් තිස් පන් දහසක් දෙනා අපේ සමාජ මාධ්‍යවල ආරක්ෂාව සහ මැතිවරණයට එහි දායකත්වය ගැන විමසිල්ලෙන් සිටීමට යොදවා තිබෙනවා..‘‘ යැයි නික් ක්ලෙග් පවසයි. නික් ක්ලෙග් කටයුතු කරන්නේ ගෝලීය ගැටළු සහ සන්නිවේදන අංශයේ උප ප්‍රධානියා වශයෙනි.

2016 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසුව ෆේස්බුක් රීති දැඩි වූ ආකාරය – මේ, 2017 දී තත්වයයි.

තොරතුරුවල නිවැරදි බව සනාථ කිරීමට මාධ්‍ය විශේෂඥයන්

‘‘එහිදී අපි මාධ්‍ය විශේෂඥයන් 70 දෙනෙකුගේ ද සහාය ලබාගෙන තිබෙනවා. ප්‍රංශයේ පස් දෙනෙකුත් එයට ඇතුළත්. තොරතුරුවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට ඔවුන් අපට උදව් වෙනවා..‘‘ යැයි ඔහු තවදුරටත් පැවසීය.

කෘත්‍රිම බුද්ධියේ (AI) සහාය

AI හෙවත් කෘත්‍රිම බුද්ධියේ සහාය ද මේ සඳහා ලබා ගනියි. එහිදී ‘ව්‍යාජ පෝස්ට් සහ ව්‍යාජ ගිණුම්‘ ගැන රිපෝට් කිරීමට පෙරම ඒවා බිලියන ගණනින් ස්වයංක්‍රීයව මකා දැමීමට පුලුවන්කම ලැබේ.

වසර 7 ක දත්ත සංචිත කරයි

‘විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම‘ සඳහා සියලු දැන්වීම් සහ තොරතුරු වසර 7 ක කාලයක් තිස්සේ සංචිත කර තබාගන්නා බව ද මෙම ලිපියෙන් අනාවරණය වේ.

2016ට වඩා ඉදිරියෙන්

ෆේස්බුක් උප සභාපති නික් ක්ලෙග්

නික් ක්ලෙග්, බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිවරයා ව සිටි සමයේ ප්‍රංශයේ Journal du Dimanche පුවත්පත සමග ෆේස්බුක් සමාජ ජාලයට චෝදනා කර තිබුණේ ඇමරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වන එකදු විදේශ නෙට්වර්ක් එකක් ගැන හෝ සොයාගැනීමට ෆේස්බුක් සමාජ ජාලය අපොහොසත් වී ඇති බවටයි.

ජෝ බයිඩන් හා ඔහුගේ පුතා ගැන ට්‍රම්ප් දැමූ පෝස්ට් අවහිර කරයි – ට්‍රම්ප් බැණ වදියි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගියදා සිය ෆේස්බුක් හා ට්විටර් ගිණුම් හරහා ජෝ බයිඩන් හා ඔහුගේ පුතා වන හන්ටර් බයිඩන් ගේ දූෂිත (යුක්රේන) ගනුදෙනුවක් ගැන ‘නිව්යෝක් පෝස්ට්‘ පුවත්පතේ පළවූ ලිපියක් පෝස්ට් කිරීමට උත්සාහ කර තිබිණි.

නිව්යෝක් පෝස්ට් පුවත්පතේ මෙම ලිපිය “Smoking-gun email reveals how Hunter Biden introduced Ukrainian businessman to VP dad,”
යනුවෙන් පළ වී තිබුණේ ආන්දෝලනාත්මක කරුණු සමග ය. ඒ අනුව හන්ටර් බයිඩන්ගේ ලැප්ටොප් පරිගණකය අලුත් වැඩියා කිරීමට භාර දුන් තැනකින් හන්ටර් බයිඩන්ගේ පුද්ගලික ඊ මේල් ‘ලීක්‘ වී ඇති බව කියැවුණි.

මේ ලිපිය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමට සමාජ මාධ්‍ය වහාම කටයුතු කර තිබුණේය. “We can’t complete this request because this link has been identified by Twitter or our partners as being potentially harmful.” යන පණිවුඩය ද සමගින් ට්විටර් එය ලිපිය රීපෝස්ට් කිරීම අවහිර කළේය. මේ පිළිබඳ පසුගිය බදාදා ඩොනල්ඩ් ට්‍රම්ප් එම සමාජ මාධ්‍යවලට බැණ වදින ආකාරය ද දැකගත හැකි විය.

කෝවිඩ් වළක්වාගැනීමට එරෙහි පෝස්ට් ද බ්ලොක් වේ

මේ අතර ෆේස්බුක් සමාජ ජාලය පසුගියදා පවසා තිබුණේ ‘‘රෝගය වළක්වා ගත හැකි සෞඛ්‍යමය හැසිරීම්වල වැදගත්කම ඉස්මතු කිරීමට‘ තමන් කටයුතු කරන බවයි. ඒ නිවේදනයට පසුදා සිට එන්නත්කරණයට එරෙහිව පළවන පුවත් ආදිය ද ෆේස්බුක් මගින් අවහිර කිරීම (බ්ලොක් කිරීම) සිදුකරයි.

මුල් ලිපිය කියවන්න –

The Guardian – Facebook says it rejected 2.2m ads seeking to obstruct voting in US election

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි