×

පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නොසන්සුන් වූ ජනතාව මැඬලන්නට පොලිස් දෙපාර්තමේන්තුවම පාරට බසියි

නයිජීරියාවේ දැන් සති දෙකක කාලයක් මුළුල්ලේ පැවැත්වෙන පොලිසියට එරෙහිව නැගී ඇති ජන විරෝධය මැඬලීම සඳහා සම්පූර්ණ පොලිස් දෙපාර්තමේන්තුවම, එහි සියලු සම්පත් සමග යොදවන්නට පොලිස් ප්‍රධානියා තීරණය කර තිබේ.


පොලිසිය සහ සිවිල් ජනතාව අතර ඇති වූ ගැටුම්වලින් මේ දක්වා මිය ගිය සංඛ්‍යාව 69 ක් බව ජනපති බුහාරි පවසයි. මිය ගිය අය අතරින් බහුතරය සිවිල් වැසියන් ය. උද්ඝෝෂණවල පෙරමුණ ගෙන සිටින්නේ තරුණයන් බව ද වාර්තා වේ.

සිවිල් ජනතාව නීතිය අතට ගැනීම කිසිසේත්ම ඉවසිය නොහැකි බව නයිජීරියානු පොලිස් ප්‍රධානියා පවසයි.

උද්ඝෝෂණවල සංවිධායකයන් පවසන්නේ පොලිසිය ජීව උණ්ඩ යොදාගෙන සිවිල් ජනතාව අමු අමුවේ මරා දමන බව ය.

ඔක්තෝබර් 7 වැනිදා මෙම දීප ව්‍යාප්ත ජනතා නැගී සිටීම ආරම්භ වූයේ Sars unit ලෙස හඳුන්වන විශේෂ පොලිස් ඒකකය විසුරුවා හරින ලෙස බල කරමිනි.

මෙහි සේවයේ නියුතු පොලිස් නිලධාරීන් අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් හිංසන, පැහැර ගැනීම්, බිය වැද්දවීම්, වධහිංසාවන් සහ නීතියෙන් පිටත මරා දැමීම් සිදුකරන බවට දීර්ඝ කාලයක පටන් චෝදනා නැගී තිබිණි. පසුව ජනපති මොහොමදු බුහාරි මෙම ඒකකය විසුරුවා හැරීමට කටයුතු කළත් උද්ඝෝෂණවල අඩුවක් දැකගත හැකි වූයේ නැත.

REUTERS

නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස් නුවරින් නිරායුධ හා සාමකාමී විරෝධතා ලෙස ආරම්භ වූ මෙම ජනතා නැගී සිටීම මේ වන විට අති ප්‍රචණ්ඩකාරී තත්වයකට පැමිණ තිබේ. ජනතාව භාණ්ඩ සැපයුම් ගබඩා පවා කොල්ල කන ආකාරය දැකගත හැකිය. ලාගෝස් නුවර සියලුම ව්‍යාපාරික ස්ථාන මේ වනවිට කොල්ල කා ඇති බව ද වාර්තා වේ. රජයේ සැපයුම් ගබඩා කර තිබෙන ස්ථාන මේ වන විට ඔවුන්ගේ ඉලක්ක බවට පත් ව ඇත.

කෝවිඩ්-19 වසංගතයේ ලොක්ඩවුන් තත්වයන් තුළ ජනතාවට බෙදා දීමට තිබූ ආහාර ද්‍රව්‍ය මෙම ගබඩාවල ප්‍රධාන වශයෙන් අන්තර්ගත බව ද වාර්තා වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි