ඒ වර්ගයේ ලොව වේගවත්ම බුලට් දුම්රිය නිපදවා තිබෙන්නේ චීනයයි.
පැයට කිලෝමීටර 600 ක වේගයෙන්, එනම්, පැයට සැතපුම් 373 ක වේගයෙන් යාමට එයට හැකි ය. චීනයේ ක්වින්දාඕ වෙතින් එය පසුගියදා සිය මංගල චාරිකාවේ යෙදුණේය.
වානේ ඊ හිසක් මෙන් ඈතට දිස්වන මෙම බුලට් දුම්රිය නිපදවා තිබෙන්නේ චීන දුම්රිය සංස්ථාව විසිනි. මෙය, ලෝකයේ දැනට ඇති වේගවත්ම දුම්රිය ලෙස සලකයි.
මැග්ලෙව් තාක්ෂණය යොදාගෙන ඇති නිසා, මේ දුම්රිය ගමනේ යෙදෙන විට පෙනෙන්නේ එය රේල් පීලි මත පාවෙනවාක් මෙනි. සුපිරි වේගයට අමතරව, එහි ශබ්ද දූෂණය අවම බවත්, පාරිසරික හානි සහිත විෂ දුම් විමෝචනය අවම බවත්, වෙනත් අධිවේගී දුම්රියවලට වඩා නඩත්තු වියදම ඉතා අඩු බවත් චීනය පවසයි.
මෙම දුම්රියේ ආකෘතියක් මුලින්ම චීනය එළිදැක්වූයේ 2019 වසරේදී ය. ඒ වසරේදිම චීනය පැවසුවේ සිය රටේ ප්‍රධාන මෙට්‍රොපොලිටන් කලාව සියල්ල, පැය 3 කින් ආවරණය වන පරිදි දුම්රියක් නිපදවන බවයි. ඒ අනුව මේ පණ ලබා තිබෙන්නේ ඒ අධිවේගී සිහිනයයි.
‘අධි වේගය‘ චීනයේ පරම ප්‍රමුඛතාවයකි. ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටේ විශාල නගර අධිවේගී රේල්ලු මගින් සම්බන්ධ කිරීම ඔවුන්ගේ න්යායපත්රවල ඉහළින්ම තිබේ.
මේ වන විට චීනයේ අධිවේගී දුම්රියක සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 350 කි. සාමාන්‍යයෙන් ගුවන් යානාවක වේගය පැයට කිලෝමීටර 800-900 අතර වේ. ඒ අනුව ලොව වේගවත්ම බුලට් දුම්රිය මේ දෙක අතර මධ්‍යස්ථ වේගයක් රඳවාගෙන පාවෙමින් – පිඹගෙන යයි.
චීනයේ දැනටමත් එක් මැග්ලෙව් රේල්ලුවක් තිබේ. එමගින් ෂැංහයි හි පුදොං ගුවන් තොටුපොළ සහ ලොග්යැන්ග් සම්බන්ධ කෙරේ. සැතපුම් 19 ක මේ ගමනට ගත වන්නේ විනාඩි හතහමාරක් පමණි. පැයට කිලෝමීටර 430 ක වේගයක් මේ දුම්රියට තිබිණි.
ෂැංහයි, හැන්ග්සු, චෙන්දු සහ චොන්ග්ක්වින් වැනි පළාත් සම්බන්ධ කරමින් මැග්ලෙව් වර්ගයේ බුලට් දුම්රිය මාර්ග කිහිපයක්ම මේ වන විට ඉදිවෙමින් ද පවතියි.