×

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA 39 වසරක නිහඬතාව බිඳිමින් ABBA VOYAGE ජනගත කරයි!

සංගීත ක්ෂේත්‍රය තුළ සක්‍රියව කටයුතු කළ සමයේ ගීත ඇල්බම නවයක් ද ගීත සියයකට ආසන්න සංඛ්‍යාවක් ද පටිගත කළ ABBA ජාත්‍යන්තර සංචාරක ගීත ප්‍රසංග සමඟින් යුරෝපයෙන් පිටත රටවල් බොහොමයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනා ගැනීමට සමත් ව ඇත.


70 දශකයේ ගීත ලොව ආක්‍රමණය කළ ස්වීඩන් ජාතික පොප් ගීත කණ්ඩායම ABBA 39 වසරක නිහැඬියාවකින් පසු මුල් සාමාජිකයන් සතර දෙනාගේම සහභාගීත්වය සහිත වූ නව ගීත ව්‍යාපෘතියක් දියත් කිරීම පිළිබඳව පළමු වරට නිල දින වකවානු ප්‍රකාශයට පත්කොට තිබේ.

ඒ අනුව ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ්, හෙවත් ABBA එළඹෙන සැප්තැම්බර් මස 02 වන දින ABBA VOYAGE නමින් දැවැන්ත සංගීතමය ව්‍යාපෘතියක් දියත් කරන බවට සිය නිල වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රකාශයට පත්කොට තිබේ.

1972 වර්ෂයේ බියෝර්න්, බෙනී, ඇග්නේතා ඇන්ඩ් ඇනිෆ්‍රිඩ් නමින් තම සංගීත කණ්ඩායම ආරම්භ කළ ABBA දශකයක කාලයක් තුළ බිල්බෝඩ් ඇතුළු මුළුමහත් සංගීත ලොව ආක්‍රමණය කළේ එතැනින් මත්තට දශක ගණනාවක් පුරාවට වර්තමාන තරුණ පරපුර ද ඇතුළුව බාල මහළු කාගේත් ගීත රසාස්වාදය පෝෂණය කරමිනි. 1982 වර්ෂයේදී නිල වශයෙන් විසිර යන ABBA එතැනින් මත්තට සිය ගීත රසාස්වාදය විවිධ වේදිකා තුළ ප්‍රචාරය කරනු ලැබුවේ සිය රාජකී‍යත්වය ගීත ලොව තුළ සනිටුහන් කරමිනි.

පුරා වසර ගණනාවක් තුළ ඇග්නේතා සහ ඇනිෆ්‍රිඩ් ගේ මනරම් ගීත හඬට මුසුකළ බෙනී ගේ කීබෝඩ් නද සහ බියෝර්න් ගේ ගිටාර නද වත්මන් පරපුරු වල ගීත ඇල්බම වල අදටත් රැව්පිළි රැව් දෙන්නේ ඒ සංගීත රාජකී‍යත්වය සිහිපත් කරමිනි.

39 වසරකට පසු ABBA කණ්ඩායමේ සාමාජිකයන් සතර දෙනාගේම සහභාගීත්වය සහිතව දියත් කරන ABBA VOYAGE නම් ව්‍යාපෘතිය හරහා ඔවුන් ඉදිරියේදී එළි දක්වන නව ගීත සහ ඒ ආශ්‍රිත වැඩසටහන් පිළිබඳව ප්‍රේක්ෂකයන් යාවත්කාලීන කරනු ඇත.

ඔව්, 39 වසරක නිහැඩියාවකින් පසු ඇග්නේතා සහ ඇනිෆ්‍රිඩ් බියෝර්න් සහ බෙනී සමඟ නව ගීත කිහිපයක් ම පටිගත කර ඇති බවට තහවුරු කර තිබේ. එම ගීත ද ඇතුළත් ව ABBA නැවත වරක් අලුත් ගීත ඇල්බමයක් නිකුත් කරන්නේ ද යන්න පිළිබඳව එළඹෙන සැප්තැම්බර් 02 වන දින සැළ කරනු ඇත.

මේ සඳහා ABBA VOYAGE නමින් නව වෙබ්අඩවියක් එළි දක්වා ඇති අතර මෙම නව ව්‍යාපෘතිය අත්දැකීමට කැමති ප්‍රේක්ෂකයන් හට එහි ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.

ABBA කණ්ඩායම සිය තරුණ අවදියේ පෙනුම ත්‍රිමාණ හොලොග්‍රෑම් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරමින් ප්‍රාසාංගික වැඩසටහනක් ඉදිරිපත් කරන බවට පළමු වරට තහවුරු කර තිබුණේ ඉකුත් 2016 වර්ෂයේදී ය. 2019 වර්ෂයේදී බෙනී සහ බියෝර්න් ABBA නව ගීත පටිගත කළ බවට තහවුරු කළහ. මෙම ත්‍රිමාණ හොලොග්‍රෑම් ප්‍රසංගය හඳුන්වා තිබුණේ ABBATAR යනුවෙනි. මේ අනුව ඇග්නේතා සහ ඇනිෆ්‍රිඩ් නව ගීත පටිගත කරන ඡයාරූප පවා සමාජමාධ්‍ය වලට මුදා හැර තිබිණි. I Still Have Faith In You සහ Don’t Shut Me Down නම් ගීත දෙකක් ද ඇතුළුව නව ABBA ගීත 5 ක් එළිදැක්වීමට සූදානම් බවට නිවේදනය කර තිබුණු මුත් නොවැළැක්විය හැකි හේතු මත එම ව්‍යාපෘතිය කල් ගියේය.

කෙසේවෙතත් ප්‍රේක්ෂකයන් ගේ කාරුණික ඉවසීමට යහපත් ප්‍රතිචාර දැන් ලැබී තිබේ. ABBA VOYAGE තුළින් සිය නවතම ගීත ව්‍යාපෘතිය ABBA එළිදක්වනු ඇත. එය දශක පහක පරපුරු එකම වේදිකාවක් වෙත ගෙන එනු ඇත.

ABBA VOYAGE හි තේමාව තුළ දිදුළන ග්‍රහලෝක සතරක් දිස්වෙයි.. එමඟින් එළිදැක්වීමට නියමිත ගීත ව්‍යාපෘතිය පිළිබඳව රහසිගත පණිවුඩයක් නිකුත් කරන බවට ප්‍රේක්ෂකයන් ගේ විශ්වාසයයි.

එක්සත් රාජධානියේ නැගෙනහිර ලන්ඩනයේ මේ සඳහාම නිමවූ රඟහලක දී ABBA හොලොග්‍රෑම් විකාශය කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ABBA පළමුවරට ලෝක පූජිත ජනාදරය ට පාත්‍ර වන්නේ 1974 වර්ෂයේ Waterloo නම් ගීතය හරහා Eurovision Song Contest තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. ABBA යනු ඉංග්‍රීසි බස කතා නොකරන රාජ්‍යයක සිට පැමිණ ජාත්‍යන්තර සංගීත වේදිකාව ආක්‍රමණය කළ ඉතිහාසයේ පළමු සංගීත කණ්ඩායමයි. සංගීත ක්ෂේත්‍රය තුළ සක්‍රියව කටයුතු කළ සමයේ ගීත ඇල්බම නවයක් ද ගීත සියයකට ආසන්න සංඛ්‍යාවක් ද පටිගත කළ ABBA ජාත්‍යන්තර සංචාරක ගීත ප්‍රසංග සමඟින් යුරෝපයෙන් පිටත රටවල් බොහොමයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනා ගැනීමට සමත් ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි