×

Breaking News: ඇෆ්ගනිස්ථානය තුළ ඇමරිකානු මෙහෙයුම් අවසන් – ඇමරිකාව ඉවත්වෙද්දී තලෙයිබානයෙන් අහසට වෙඩි

අගෝස්තු 31 වැනිදා උදා වීමට පෙර, අගෝස්තු 30 දා රාත්‍රියේදී එනම් ඊයේ රාත්‍රියේ අවසන් ඇමරිකානු ගුවන් යානය ද ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් විය.


දශක දෙකකට පසුව ඇමරිකානු හමුදාව මෙසේ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන්නේ නොසිතූ ආකාරයෙන් අවසන් සති දෙකේදී  සිවිල් වැසියන් 123,000 ක් ද මුදා ගැනීමෙන් පසුව ය.

ඇමරිකාවේ දීර්ඝතම යුද්ධය මෙසේ අවසන් වන්නේ, C17 හමුදා ගුවන් යානය මගින්, කාබුල් නුවර සිටි ඇමරිකානු තානාපතිවරයාව ද රැගෙන යාමත් සමග ය.

ඇමරිකාව කොතෙක් උත්සාහ ගත්තත්, තලෙයිබාන් සංවිධානය අගෝස්තු 30 දායින් පසුව ඇෆ්ගනිස්ථාන පොළොවේ සිටීමට ඇමරිකාවට ඉඩ දුන්නේ නැත. ඒ අනුව අගෝස්තු 31 දින නියමය වෙනස් කෙරුණේ නැත. ඇමරිකානු හමුදාව ඉලක්ක කර ගනිමින් කාබුල් ගුවන් තොටුපොළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවීම සහ ඇමරිකානු හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් සිවිල් වැසියන් මිය යාම වැනි කරුණු නිසා අවසන් මොහොතේදී තත්වය වඩාත් සංකීර්ණ වී තිබිණි.

මේ අතර තලෙයිබාන් සංවිධානය, දින කිහිපයක පටන් ඔවුන් විසින් කාබුල් ගුවන්තොටුපොළ ආශ්‍රිත සියලු මාර්ග වසා දැමීමට ද කටයුතු කර තිබිණි.

නමුත් කාබුල් ගුවන් තොටුපොළේ ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් බවක් මෙයින් අදහස් නොවේ.

ඒ අනුව කාබුල් ගුවන් තොටුපොළෙන් පිටවීමට අවශ්‍ය අය සිටියි නම්, ඔවුන් වෙනුවෙන් ‘රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්‘ දියත් කිරීමට නියමිත බව‘ කලාපීය ඇමරිකානු හමුදා ප්‍රධානී ජෙනරාල් කෙනත් මැකෙන්සී පවසයි.

අවසන් ඇමරිකානු ගුවන් යානය ගුවන් ගත වූ විට තලෙයිබානය, කාබුල් හි රෑ අහසට වෙඩි තබමින් සිය සතුට සමරන ආකාරය දැකගත හැකි විය. මෙම වීඩියෝව ට්විටර් මාධ්‍යය හරහා පළ කර තිබුණේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු විසිනි.

මේ අතර ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින්, ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන අවසන් ඇමරිකානු සොල්දාදුවා පිළිබඳ ට්විටර් සටහනක් එක් කර තිබිණි. ඔහු මේජර් ජනරාල් ක්‍රිස් ඩෝනායු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි