×

ප්‍රස්තා පිරුළක් කියා ජනපතිට අපහාස කළැයි තුර්කි මාධ්‍යවේදිනියක් සිරගත කරයි!

තුර්කියේ ප්‍රකට රූපවාහිනී මාධ්‍යවේදිනියක් වන සෙදෙෆ් කබාස් දේශපාලන උපහාසාත්මක බවකින් යුතු ප්‍රස්ථාව පිරුළක් පැවසුවේ යැයි ජනපතිට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කර තිබේ.


ඉස්තාන්බුල් හි අධිකරණයක් විසින් ඇයව නඩු විභාගය දක්වා රැඳවුම් භාරයට පත් කර ඇත.

තුර්කි ජනාධිපති තයිප් එර්දොගන් ට ප්‍රස්ථාව පිරුළකින් උපහාස කිරීම යන චෝදනාව ඇයට එල්ල වී ඇත. ඒ, ඇය විසින් ඉදිරිපත් කළ සජීවී රූපවාහිනී වැඩසටහනකදී ය. එය විපක්ෂයට සම්බන්ධ TV චැනලයක් බව ද වාර්තා වේ.

මෙම චෝදනාව අධිකරණයේදී සනාථ වුවහොත්, අවුරුදු 1-4 දක්වා සිර දඬුවමක් ඇයට නියම වනු ඇති.

කෙසේ නමුත් මාධ්‍යවේදිනිය, චෝදනාව ප්‍රතික්ෂේප කරයි. සිය නාලිකාව වන Tele1 චැනලයේදී ඇය කියා තිබෙන්නේ මෙපමණකි.

”තුර්කියේ බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, රජ ඔටුන්න පැළඳ ගත්තාම කෙනෙක් ඥානවන්තයෙක් වෙනව කියලා.. නමුත් ඒක එහෙම නෙවෙයි කියල අපිට පේනවා..”

”ගවයෙක් රජ මාළිගයට පැමිණි පමණින් රජෙක් බවට පත්වන්නේ නැහැ. සිද්ධ වෙන්නේ රජ මාළිගය ගව මඩුවක් බවට පත් වෙන එකයි..”

“A bull does not become king just by entering the palace, but the palace becomes a barn.”

ඉහතින් දක්වා ඇත්තේ තුර්කියේ ප්‍රචලිත එම ප්‍රස්ථාව පිරුළයි.

එහි වරදක් ඔබට පෙනේද? එසේ නැතිනම් ලංකාවට ත් මේ කියමන අදාළ බවක් ඔබට සිතේද?

”අපේ ජනාධිපතිතුමාට අපහාස කළා” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

තුර්කි ජනාධිපති තයිප් එර්දොගන් ට ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයෙකු සිටියි. ඔහුගේ නම ෆාරෙටීන් අල්ටුන් ය. ෆාරෛටීන් ද මාධ්‍ය ඔස්තාද් කෙනෙක් වන අතර, මාධ්‍ය දර්ශනය පිළිබඳ PhD උපාධිධාරියෙකි. ඔහු මේ සිදුවීම ගැන කියන්නේ කුමක්ද? ඔහු ට්විටර් සටහනකින් මෙසේ කියා තිබේ.

”මේක වගකීම් විරහිත ප්‍රකාශක්..”

”වෛරය පතුරුවා හැරීම හැර වෙන අරමුණක් නැති රූපවාහිනී නාලිකාවක ඊනියා මාධ්‍යවේදිනියක් අපේ ජනාධිපතිතුමාට අමු අමුවේ අපහාස කරනවා..”!!

2014 අගෝස්තු මාසයේ ජනපති පදවියට පත් වීමට පෙර තායිප් එර්දොගන් වසර 11 ක් අගමැතිවරයා ලෙස කටයුතු කළේය. තුර්කියේ අගමැති ධුරය බලතල අඩු නාමික ධුරයක් ලෙස සැලකෙන අතර, ඔහුගේ සැබෑ ස්වරූපය පෙනෙන්ට ගත්තේ ඔහු ජනපති පදවියට පත් වීමෙන් පසුව ය. ගතවූ කාලය තුළ එර්දොගන්, තමන්ට අපහාස කළ බවට චෝදනා කරමින් දස දහස් ගණන් දෙනා සිරගත කර ති‌බේ.

හිරේ දැම්මත් ඇත්ත කිව යුතුය. ගවයෙකු රජ මාළිගයට ඇතුළු වූ පමණින් ඔහු රජෙකු බවට පත් නොවේ. සිදුවන්නේ රජ මාළිගය ගව මඩුවක් වීම පමණ ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි