×

සුන්දර වියට්නාමයේ සවාරියක් ….(Travel video-CNN)

මෙහි භූමි භාගයෙන් 40% ක කඳු සහිත බවත් 42% ක වන වැස්මත් නිසා වියට්නාමය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රටක් බවට පත් වී තිබෙනවා. රතු නදියට හා මීකොං නදිය අයත් ඩෙල්ටාවන් නිසා මේ සෞන්දර්යය තවත් වැඩි ව තිබේ.


වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව ගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් චීනයට, වයඹින් ලාඕසයට, නිරිත දිගින් කාම්බෝජයට සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදට මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව 13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටකි.

විශාලත්වයෙන් වර්ග කිලෝමීටර තුන් ලක්ෂයකට වඩා වැඩි භූමි භාගයකට හිමිකම් කියන වියට්නාමයේ මුහුදු වෙරළ කිලෝමීටර 3,444 ක් පමණ දිගින් යුතු වේ . මුහුදු වෙරළට අමතරව මෙහි භූමි භාගයෙන් 40% ක කඳු සහිත බවත් 42% ක වන වැස්මත් නිසා වියට්නාමය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රටක් බවට පත් වී තිබෙනවා. රතු නදියට හා මීකොං නදිය අයත් ඩෙල්ටාවන් නිසා මේ සෞන්දර්යය තවත් වැඩි ව තිබේ.

හෝ චි මින්ග් නුවර යුධ මතකයන් ප්‍රදර්ශනයට තබා ඇති කෞතුකාගාරයත්, ජේඩ් අධිරාජ්‍යයාගේ විහාරස්ථානයත්, බෙන් ට්තන් වෙළඳ මධ්‍යස්ථානයත් සංචාරකයෙක් යා යුතුම ස්ථාන හැටියට සැළකේ.
පොන්ග් නා – කෙ බන්ග් ජාතික උද්‍යානය යනු වර්ග කිලෝමීටර 1000 කට වඩා වැඩි වපසරියක් තුළ විහිදී ඇති උද්‍යානයකි. මෙහි ස්වභාව සෞන්දර්යය නැරඹීමට මෙන්ම පිහිනමින් ස්නානය කර විනෝද වීමට පවා ස්ථාන තිබෙනවා. මෙම උද්‍යානය යුනෙස්කෝ සංවිධානය විසින් ස්වභාවික ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.
හොඉ අන් පෞරාණික නගරය ද ලෝක උරුමයක් ලෙසද නම්කර තිබේ. මෙහි ඉදි කිරීම් සියල්ලම පාහේ දැවයෙන් නිමවා ඇති අතර සාම්ප්‍රදායික වියට්නාම ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව ජපාන හා චීන ලක්ෂණයන්ගෙන් යුතු ගොඩනැගිලි දැකිය හැකියි.
ඩා ලත් මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක් පමණ උසකින් යුත් ස්ථානයකි. විල්, කඳුවලින් අලංකාර වී ඇති මෙහි පරිසරයේ සෞම්‍ය බව නිසා ඕකිඩ්, රෝස, ලිලී, කැමේලියා වැනි මල් හොඳින් වැඩෙනවා.මෙය ප්‍රදේශයේ ආකර්ශනය වැඩිපුරම දිනාගනු ලැබූ ස්ථානයක් වේ.
හා ලොන්ග් බොක්ක පුදුම උපදවන ගල් ගුහාව, හොවැන්ග් ටැන් දූව, හොන් ට්‍රොන්ග් මයි, බයි තෝ කන්ද, දිව්‍යමය ගුහාව, කැට් හේ දූපත මෙහි දැකගත හැකි දේවල්වලින් කිහිපයක්. මෙය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කර ඇති අතර 2012 වසරේදී ලෝකයේ ස්වභාවික පුදුම 7 අතරටද නම් කෙරිණ.
න්හා ට්‍රැන්ග් මුහුදු වෙරළ , ටැම් කොක් ගල් කඳු, මුයි නේ වැලි පර, හුයි බලකොටුව ආදියද වියට්නාමයේ සුන්දරත්වය වැඩිකරන තවත් ස්ථාන කිහිපයකි.

සශිකලා මධුෂාණී_

වීඩියෝ : CNN TRAVEL



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි