×

බැල්ටිමෝරයේ සිංහයා – 9 කොටස

තමන් වැනිම කළු ජාතික වහලුන් වෙනුවනේ ෆෙඩ්රික් අකුරු කියා දීම ඇරඹුවේය. නමුත් නිදහස තව දුර ය.


හෙන්රි සහ ජොන් අතිශය බුද්ධිමත් අය වූහ. එහි ගොස් ඉතා කෙටි කලක් ඇතුළත අකුරු කියවීම කෙරෙහි ආශාව ඇති කිරීමට ෆ්‍රෙඩ්රික් සමත් විය. මේ ආශාව ඉක්මනින් ම සෙස්සන් වෙත ද පැතිර ගියේය.

ඔවුන් ඉක්මනින්ම පරණ අකුරු කියවන පොත් කිහිපයක් ද සොයාගෙන එකතු වූ අතර සබත් පාසලක් පැවැත්වීම හැර ෆ්‍රෙඞ්රික් හට වෙනත් කළ හැකි දෙයක් නොවීය. ඔහු එසේ කිරීමට එකඟ විය. ඔහු සිය ඉරිදා දිනයන් ස්වකීය දයාබර වහල් සගයන් හට කියවීම ඉගැන්වීම ට කැප කළේය. ඔහු එසේ කිරීමට පටන් ගන්නා විට ඔවුන්ගෙන් කිසිවෙකු අකුරු දැන සිටියේ නැත.

අසල්වැසි ගොවිපොළවල සිටින ඇතැම් වහලෙක් ද සිදුවන දෙය ආරංචි වී එහි පැමිණියේ කියවීමට ඉගෙන ගැනීම සඳහා ලැබෙන මේ කුඩා අවස්ථාවෙන් පල ලැබීම සඳහා ය.

පැමිණි සියල්ලන්ම එකඟ වූයේ, මෙය හැකිතාක් අඩුවෙන් බාහිර ට පෙනිය යුතු වන බවයි. වහලුන් මල්ලවපොර සෙල්ලම්වලින් සහ විෂ්කි පානය කරමින් කල්ගත කරනු වෙනුවට සබත් දිනය දෙවියන්ගේ කැමැත්ත කියවීමට උත්සාහ කරමින් කල්ගත කරන බවට වන කරුණ, ශාන්ත මයිකල්ස් හි සිටි ආගමික ස්වාමිවරුන්ගෙන් වසං කළ යුතු විය. එයට හේතුව වූයේ ඔවුන් බුද්ධිමත්-සදාචාරසම්පන්න සහ වගකිවයුතු දේවල්වල යෙදෙනවාට වඩා එම පහත් පෙළේ ක්‍රීඩාවන්ගේ යෙදෙන ආකාරය ඔවුන් වඩ වඩාත් දැක තිබූ හෙයිනි. වහල් පන්තියේ ස්වාමිවරුන් වූ රයිට් ෆෙයාබෑන්ක්ස් සහ ගැරිසන් වෙස්ට් යන දෙදෙනා සෙසු අයගේ ද සහයෝගය ඇති ව පොලු මුගුරු ද රැගෙන ඔවුන් වෙතට කඩා පැන, සිය යහපත් සබත් පාසල කඩාකප්පල් කර දමන ආකාරය සිතත් ම ෆ්‍රෙඩ්රික්ගේ ලෙය කැකෑරෙයි. තමන්ට ක්‍රිස්තියානුවන් යැයි කියාගන්නෝ…! ඒ සියල්ලන්ම ජේසුස් ක්‍රිස්තුස් සමිඳුන්ගේ යටහත් පහත් බැතිමතුන් ය.!

ෆ්‍රෙඩ්රික් සිය සබත් පාසල පැවැත්වූයේ නිදහස ලද කළු ජාතිකයෙකුගේ නිවසේ ය. දස වසරකට උඩදී පාසලක් පැවැත්වීම අපරාධයක් කිරීමක් වූ හෙයින් ෆ්‍රෙඞ්රික් ඔහුගේ නම කිසිදා හෙළි නොකළේය.

ෆ්‍රෙඩ්රික් එක් වරකදී හතළිස් දෙනෙකු ට අධික සංඛ්‍යාවකට මෙම පාසල පැවැත්වීය. එයින් සමහරු ඉගෙනීම ට අතිශයින්ම ආශා කළ අය වූහ. සියලු වයස්වලට අයත් අය ඒ අතර වූහ. එකී ඉරු දිනයන් ඔහුගේ ආත්මයට ශ්‍රේෂ්ඨ දවස් විය. සිය වහල් සගයන් ට උගැන්වීම ඔහු විසින් සිදුකළ සියලු ආශිර්වාද ලත් කාර්යයන් අතරින් එකක් විය. එතැන් පටන් නිදහස ලබාගැනීම සඳහා ඔහුගේ ආශාව එහි මස්තක ප්‍රාප්ත විය.

ජීවන සහකාරිය හමුවෙයි.

ෆ්‍රෙඩ්රික් ඩග්ලස්ගේ ජීවන සහකාරිය ඇනා මරේ | Smithsonian Magazine

කර්නල් ලිලොයිඞ්ගෙන් ෆ්‍රෙඩ්රික් ව කුලියට ගත් නව වහල් හිමිකරුවා වූ ෆ්‍රීලන්ඞ් මහතාගෙන් පැන යාමට ෆ්‍රෙඩ්රික් මුලින් ම උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. 1836 දී ඔහු නව හිමිකරුගෙන් බේරී පැන යාමට ද උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විය. 1837 දී ෆ්‍රෙඩ්රික් හට ඔහුට වඩා පස් අවුරුද්දක් වැඩිමහල් ඇනා මරේ නමැති නිදහස් කළු ජාතික බැල්ටිමෝර් ගැහැනිය හමුවිය. ඇය සමග ආලයෙන් බැඳුණේය. ඇගේ නිදහස, තමන් ට ද නිදහස ලද හැකි යැයි ඔහු තුළ පැවති විශ්වාසය දැඩි කළේය.

ෆ්‍රෙඩ්රික් පැන යයි!

1838 සැප්තැම්බර් 3 වැනිදා මේරිලන්ඞ් හි හැව්රි ඩි ග්‍රේස් බලා යන දුම්රියකට ගොඩ වී පළායාමට ෆ්‍රෙඩ්රික් සමත් විය. ඔහු සැරසී සිටියේ නාවිකයෙකු හෙවත් සේලරුවෙකු ගේ නිල ඇඳුමකිනි. එය ඇනා මරේ විසින් සපයනනිදහස ලත් කළු ජාතික වහල් නැවියෙකුගෙන් ලබාගත් ලියකියවිලි ද සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ෆ්‍රෙඞ්රික් රැගෙන ගියේය. හැව්රේ ඩි ග්‍රේස් හිදී සස්ක්වෙහන්නා ගඟ පාරුවකින් තරණය කර දුම්රියෙන් ඩෙලාවෙයා හි විල්මින්ටන් බලා ගියේය. එතැන් පටන් “වාන් නගරය” (පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාව) දක්වා දුම්බෝට්ටුවෙන් ගිය ඔහු, නිව්යෝක් නුවර පිහිටා තිබූ වහල්භාවය අවලංගු කිරීම සඳහා ක්‍රියාකරන්නෙකු වූ ඬේවිඞ් රගල්ස් ගේ ආරක්ෂිත නිවසට පැමිණියේය. මේ මුළු ගමන සඳහාම වැය වී තිබුණේ පැය විසිහතරකට අඩු කාලයකි.

නිව්යෝක් නුවර ට පැමිණීම ගැන ෆ්‍රෙඞ්රික් ඩග්ලස් පසුකලෙක මෙසේ ලිවීය.

“නිදහස් පසක පය තබන විට මට දැනුණු හැඟීම කුමක්දැයි මගෙන් නිතර විමසනු ලැබේ. එය මට කිසිදාක තෘප්තිමත් පිළිතුරක් ලබාදිය නොහැකි අසීරු පැනයකි. මා ඉදිරියේ නව ලෝකයක් විවර විය. ජීවිතය හුස්ම ගැනීම සහ ‘ලේ ඉක්මනින් ගලා යාම’ ට වඩා වැඩිමනත් දෙයක් නම්, මගේ වහල් ජීවිතයේදී මම එක් දිනකට වඩා ජීවත් වී ඇත්තෙමි. එය වදන්වලින් නීරස ලෙස පමණක් විස්තර කළ හැකි ප්‍රීතිමත් උද්‍යෝගයකි. නිව්යෝක් නුවර ට පැමිණි වහා මිතුරෙකුට ලිපියක් ලියමින් මම මෙසේ කීවෙමි. “එකෙක් කුසගිනිකාර සිංහයන්ගේ කූඩුවෙන් ගැළවී ගත්තා සේ මට හැඟිණි”. අන්ධකාරය සහ වර්ෂාව මෙන් සන්තාපය සහ කණස්සල්ල වදන්වලින් දැක්විය හැකිය. නමුත් සතුට සහ ප්‍රීතිය දේදුන්නක් මෙන් පෑනේ හෝ පැන්සලේ හැකියාව පරදවයි.”

Frederick Douglass in Washington, DC The Lion of Anacostia
Frederick Douglass in Washington, DC The Lion of Baltimore
තරුණ ෆ්‍රෙඩ්රික් ඩග්ලස් නිව්යෝක් නුවරදී

10 වන කොටසින් හමුවෙමු….

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි