×

ලෝක විනාශය වසර 2100 දී!

මහා පරිමාණ ලෝක විනාශයක් හෙවත් ජීවය වඳ වී යාමක් වසර 2100 වන විට සිදුවීමට නියමිත බව පර්යේෂකයන්ගේ අදහසයි.


මේ නියමිත මේ මහා පරිමාණ ජීවි විනාශය වැනි අත්දැකීමකට පෘථිවිය මීට පෙර අවස්ථා 5 කදී මුහුණ දී ඇත. මේ බව පවසන්නේ පෘථිවියේ වසර මිලියන 540 ක ඉතිහාසය සලකා බැලීමෙනි.

මේ සියවස අගභාගයේදී සිදුවීමට නියමිත බව පැවසෙන මේ ලෝක විනාශයට ප්‍රධානතම හේතුව විය හැක්කේ කුමක්ද? විද්‍යාඥයන් පවසන්නේ දරාගත නොහැකි තරම් අධිකතර කාබන් ප්‍රමාණයක් සාගරවලට එක්වීම නිසා, සාගර මහා විනාශයක එළිපත්තේ පවතින බවයි. අවසානයේ මානව වර්ගය මිහිමතින් විනාශ වී යාම දක්වා එය බරපතළ වනු ඇත.

පෘථිවිය අවසාන වරට මෙවැනි මහා පරිමාණ ජීවි වඳ වී යාමක් අත්දුටුවේ මෙයට වසර මිලියන 252කට පෙර ය. එය Great Dying යන යෙදුමෙන් හැඳින්වේ. එහිදී සාගර ජීවයෙන් 95%ක් මරණයට පත් වූයේ එක්වරම ය. ඒ හේතුව නිසා ‘ජීවයේ උපත‘ ලෙස සැලකෙන සාගර, අධික අම්ලකර ගතියකට පත් විය.

භූ භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඩැනියෙල් රොදමන් (Professor Daniel Rothman) පවසන්නේ ඒ හා සමාන අනර්ථකාරී තත්වයකට මේ වන විට ලෝකයේ සාගර පත්වෙමින් පවතින බවයි. අප සිතා සිටියාට වඩා සාගරයේ උෂ්ණත්වය වැඩි වී තිබෙන බව පසුගිය සතිවල ලැබුණු වාර්තාවල ද දැක්විණි. මෙයට ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු වන්නේ මිනිසා විසින් හිතාමතාම සිදුකරමින් තිබෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ යන ක්‍රියාකාරකම් ය. ‘‘මෑන් මේඩ් ග්ලෝබල් වෝමිං“ (man-made global warming) යනුවෙන් මෙය හැඳින්වේ.

මහා පරිමාණ ජීවී වඳවී යාම අනිවාර්යයෙන් සිදුවන දෙයක් බව ද ඔහු සරල ගණිත සූත්‍රයක් ඔස්සේ මේ වන විට සනාථ කර තිබේ.

කාර්මික විප්ලවයේ පටන් මේ දක්වා මනුෂ්‍යයන් විසින් කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 1,540 ක් වායුගෝලයට මුදා හැර තිබේ. එම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මුදා හැරියේ ගල් අඟුරු දහනයෙන් පමණක් යැයි සිතන්නේ නම් ඒ ගල් අඟුරු ස්ථම්භය අඩි 72 ක් පළල, සැතපුම් 240,000 ක් දුරට විහිදෙන ගල් අඟුරු ස්ථම්භයක් විය යුතුය.

මෙසේ විමෝචනය වූ කාබන්ඩයොක්සයිඩ්වලින් හරි අඩක්ම එදා පටන් අද දක්වා වායුගෝලයෙන් ඉවත් නොවී යම්කිසි ආකාරයකින් වායුගෝලය තුළම රැඳී තිබේ. එහි ප්‍රතිඵලය බවට පත්ව තිබෙන්නේ පෘථිවියේ දීර්ඝ ඉතිහාසය තුළ සිදුව ඇති ඕනෑම ස්වභාවික කාබන් ඩයොක්සයිඩ් ඉහළ යාමක් මෙන් 10 ගුණයක ඉහළ යාමක් මෙමගින් වාර්තා වීමයි.

මෙසේ පෘථිවිය ආශ්‍රිතව ඉතිරි වී පවතින කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයෙන් හරි අඩක් පමණ සාගරයේ දිය වී ඇත්තේ, සාගරය ආම්ලික බවට හරවමිනි.

ඒ අනුව එහි ප්‍රතිඵල මොනවාද සහ, එය සිදුවනු ඇත්තේ කුමන ආකාරයකින් ද යන්න පිළිබඳ තවම පෙරයීම් කිරීමට නොහැකි බව ද විද්‍යාඥයෝ පවසති. බාගවිට, අපේ මුණුපුරන් එය සිදුවන්නේ කෙසේදැයි නිශ්චිතවම දැන කියාගනු ඇත.!

මූලාශ්‍රය : නිව්යෝක් පෝස්ට්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි