×

GRAMMY සම්මාන උළෙල: ලේඩි ගාගා, ජස්ටින් බීබර්, ඩෝජා කැට්, බිලී අයිලිෂ්, ලිල් නාස් එක්ස්…. හමුවන්න ABBA!

අපට ඔප්පු කර පෙන්වීමට දෙයක් නැහැ.... අපගේ ගීත ජාත්‍යන්තර සංගීත වේදිකාව භාරගන්නේද යන්න පිළිබඳව අප තකන්නේ නැහැ....


වසර සතලිහකට පසු යළි සංගීත ලොවට පිවිසි ඔවුන් වරක මාධ්‍ය වෙත පවසා තිබුණේ තමාට ලොව ඉදිරියේ ඔප්පු කර පෙන්වීමට කිසිවක් නොමැති බවයි.. 70 දශකයේ ගීත හා සැසඳීමේදී ඔවුන්ගේ නූතන සංගීතයට රසිකයන් කැමත්තක් නොදක්වන්නේ නම් එහි කිසිඳු ගැටළුවක් නොමැති බව ඔවුහු බීබීසීයට පැවසූහ.

ඒ ඉතාම නිහතමානී වදන් පැමිණෙන්නේ ABBA සංගීත කණ්ඩායම වෙනුවෙන් එහි පියානෝ වාදක බෙනීගෙන් ය.

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA සතලිස් වසරක නිහැඬියාවකින් අනතුරුව සිය සංගීත රාවයෙන් නැවත වරක් ලොවක් සැනසීමේ ගමන ආරම්භ කරන බව පළමු වරට දැනුම් දුන්නේ ඉකුත් අගෝස්තු මස ය. දිදුලන ග්‍රහලෝක සතරක් සහිතව Voyage නම් සංගීත ව්‍යාපෘතියක් දියත් කරන බවත්, එම නමින් ම නව ගීත ඇල්බමයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඊට සමඟාමීව සජීවී ඩිජිටල් හොලොග්‍රෑම් ප්‍රසංගයක් 2022 වසරේදී දියත් කිරීමට නියමිත බවත් ඔවුන් පැවසුවේ ඉකුත් සැප්තැම්බර් 02 වන දින ය.

2022 සජීවී හොලොග්‍රෑම් ප්‍රසංගයේදී ABBA සාමාජිකයන් සතර දෙනා දිස්වන අයුරු

ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ් හෙවත් ABBA ගේ නවතම ගීත 10ක එකතුව වූ Voyage ඇල්බමය ඉකුත් නොවැම්බර් 05 වන දින එළි දැක්වීම සිදුවිය.

Voyage ඇල්බමයේ ප්‍රධාන සිංගලය හෙවත් ප්‍රධාන ගීතය වූ I Still Have Faith In You ගීතය ඇසූ බාල මහළු ABBA රසිකයන් බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් එක්කළේය. ඒ හුදෙක් තම ගීත හඬ සතලිස් වසරක නිහැඬියාවකින් අනතුරුව නැවත වරක් I Still Have Faith In You හරහා අවදි කිරීම නිසාම නොව, සමස්ත ගීතය පුරාම කියවෙන්නේ ABBA ගේ අතීත කතාවේ සාරාංශය වීම නිසා ය.

ABBA එළඹෙන 2022 වසරේ පැවැත්වීමට නියමිත හොලොග්‍රෑම් සංගීත ප්‍රසංගයට සිය තරුණ පෙනුම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සූදානම්ව / ජයාරූපය – බීබීසී

BILLBOARD සහ GRAMMY සම්ප්‍රාප්තිය!

ABBA ම පැවසූ පරිදි ඔවුනට ඔප්පු කර පෙන්වීමට කිසිවක් නොමැතිය. නමුත් සංගීත කලාවේ රාජකීයත්වය දරන මේ දේවදූතයන් සතර දෙනාගේ සම්ප්‍රාප්තිය සංගීත වේදිකා භාරගෙන තිබෙන්නේ නම් එසේ නොවන බව දැන් පැහැදිලි වෙමින් පවතී. එය මනාව ඔප්පු කරමින් ඉකුත් දිනක බීබීසී ජාත්‍යන්තර සංගීත ඇල්බම දර්ශකය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ සංගීත ඇල්බම දර්ශක රාශියක පළමු ස්ථානයට (#01) පත්වීමට ABBA Voyage ඇල්බමය සමත්විය. ලොව කාර්යසාධනය පෙන්වීමට අපහසුම සංගීත වේදිකාව යැයි පිළිගැනෙන BILLBOARD ඇල්බම දර්ශකයේ පවා දෙවන (#02) ස්ථානයට පත්වීමට මෙම වියපත් ඇල්බමය සමත් විය.

මෙම ලිපිය ලිවීමට පැය කිහිපයකට මත්තෙන් වාර්තා වූ නවතම පුවත වන්නේ, ඉතිහාසයේ පළමු වරට ABBA ගීතයක් සංගීත ක්ෂේත්‍රය තුළ සම්මාන පුදකරන්නන් අතර ඉහළම බලධාරියා වන GRAMMY සම්මාන උළෙලට යෝජනා වී ඇති බවයි!

ABBA 1979 දී ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණය තුළ සජීවී ප්‍රසංගයක – ඡායාරූප – ගෙටී ඉමේජස්

ඒ අනුව, සතලිස් වසරක නිහැඬියාවකින් අනතුරුව ABBA සිය සම්ප්‍රාප්තිය යළි සනිටුහන් කළ I Still Have Faith In You ගීතය 2021 වසරේ හොඳම ගීතය (Record of the Year) නම් කැටගරියට යෝජනා වී තිබේ.

ABBA ට ඔප්පු කර පෙන්වීමට කිසිවක් නොමැති බව සැබෑ විය හැකිය. එක් මාධ්‍ය හමුවකදී ABBA පැවසුවේ සිය සංගීතය වත්මන් ජාත්‍යන්තර ගීත දර්ශක වල කාර්යසාධනය පෙන්වන්නේ කෙසේද යන්න පිළිබඳව පවා ඔවුන් නොතකන බවයි. තම සංගීතය පිළිබඳව එවන් ආකල්පයක් ඔවුන් තුළින් පරාවර්තනය වීම ABBA දශක පහක් පුරා රැකගෙන ආ නිහතමානී ගුණයේ ලක්ෂණයක් විය හැකිය.

නමුත් ලෝකවාසී රසිකයන් මෙහිදී යමක් ඔප්පු කිරීමට සමත්ව ඇත. නූතන ජාත්‍යන්තර සංගීත වේදිකාව තුළ 70 – 80 දශකයන්ට සාපේක්ෂව ස්පොට්ලයිටය දිනා ගැනීමට ඉතා අසීරු බව බොහෝ දෙනෙකු දනී. මීට හේතුව හිසේ කෙස් ගණන අභිබවා ගිය සංගීතඥයන් පිරිසක් දැනටමත් සංගීත ලොව ආක්‍රමණය කර තිබීමයි. එවන් අවස්ථාවක ABBA GRAMMY සම්මාන උළෙලට යෝජනා වී තිබීම (එය ABBA ට ද සිය සංගීත ගමනේ නව සංදිස්ථානයකි) තුළින් ලෝකයාට ABBA සංගීතයේ මිහිරියාව අමතක වී ගොස් නොමැති බව පසක් කරයි. එමෙන්ම, සංගීත රසය උඩුයටිකුරු වී ඇති නූතන සංගීත කලාවට ABBA මනාව පෑහෙන බව ද පසක් කරයි.

යළි සංගීත ස්ටුඩියෝවට ගිය ABBA – ඡායාරූපය – බීබීසී

ලේඩි ගාගා, ජස්ටින් බීබර්, ඩෝජා කැට්, බිලී අයිලිෂ්, ලිල් නාස් එක්ස් සමඟ කරට කර?

මෙවර වසරේ හොඳම ගීතය ට හිමි GRAMMY සම්මානය සඳහා යෝජනා වී තිබෙන්නේ ABBA ගේ I Still Have Faith In You ගීතයත්, ජොන් බැටිස්ටා ගේ Freedom නම් ගීතයත්, ලේඩි ගාගා ටෝනි බෙනෙට් (ලිපිය තුළ නොලියවෙන, එහෙත් තවත් සංගීත ලොවේ දේවදූතයෙකි) සමඟ ගැයූ I Get A Kick Out Of You ගීතයත්, ජස්ටින් බීබර් ඩැනියල් සීසර් සහ ගිව්ඔන් සමඟ ගැයූ Peaches නම් ගීතයත්, බ්‍රැන්ඩි කාර්ලයිල් ගේ Right On Time නම් ගීතයත්, ඩෝජා කැට් SZA සමඟ ගැයූ Kiss Me More නම් ගීතයත්, බිලී අයිලිෂ් ගේ Happier Than Ever නම් ගීතයත්, ලිල් නාස් එක්ස් ගේ සමරිසි අභිමානයේ Montero (Call Me By Your Name) නම් ගීතයත්, ඔලිවියා රොඩ්‍රිගෝ ගේ drivers license නම් ගීතයත්, හා සිල්ක් සොනික් ගේ Leave The Door Open නම් ගීතයත් ය.

ABBA ට මෙම සංගීත දැවැන්තයන් සමඟ තරඟයක් තිබේවිද? බිලී අයිලිෂ්, ලිල් නාස් එක්ස්, ලේඩි ගාගා, ජස්ටින් බීබර්.. යනු නූතන සංගීත වේදිකාවේ මහා කුළුනු මෙන් දැවැන්තයන් ය. ඒ පිළිබඳ විවාදයක් නැත. එහෙත්, මේ කිසිවකු සමඟ ABBA ම පවසන පරිදි ABBA ට අභියෝගයක් නොමැත. මන්ද ABBA ම පවසන පරිදි ABBA ට ලොව ඉදිරියේ කිසිවක් ඔප්පු කර පෙන්වීමට නැත.

ABBA 1979 දී යුනිසෙෆ් ආධාරක ප්‍රසංගයක පුහුණු වීම් අතරතුර / ඡායාරූප – ගෙටී ඉමේජස්

එහෙත් GRAMMY සම්මාන උළෙල සඳහා නාමයෝජනා ඉදිරිපත් වීම කිසිවිටෙක සුළුපටුව තැකිය නොහැකිය. මන්ද, මේ ABBA ට ද ඔවුන්ගේ පළමු GRAMMY අත්දැකීමයි. මීට පෙර කිසිවිටක ඔවුන් GRAMMY සම්මානයක් දිනා තිබුණේ හෝ ඒ සඳහා යෝජනා වී තිබුණේ ද නැත.

රැල්ලට යන ආදරය, විරහව හා ලිංගිකත්වය මත්තේ ජනෙල් කූරු ගනන් නොකර සිය වියපත්භාවය මනාව පිළිගත් ABBA තම සංගීතය මෙසේ ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර හෝ අදහස් පළකළ යුතුමය. ආර්ථිකය, සමඟිය, මානව හිමිකම්, දේශසීමා අරගල හා වසංගතය ආදී කරුණු බොහොමයක් නිසා ලොවක් ගිනිගෙන දැවෙන මේ මොහොතේ සිත් පහන් කිරීමට පොළවට ගොඩ බෑ ABBA, සමුගැනීමට ඒ යාත්‍රාව යළි පණ ගන්වා අහසට නැංවීමට ප්‍රථම ලෝකවාසීන්ගෙන් ලැබෙන මේ තුටුපඬුර භාරගත යුතුමය.

ඒ, GRAMMY යනු ABBA කළ මෙහෙයට ලෝකයා ලබා දෙන ප්‍රතිඋපහාරය නිසා ය.

සම්පූර්ණ GRAMMY නාමයෝජනා ලැයිස්තුව කියවීමට මෙතනින් පිවිසෙන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි