×

අනාචාරය අපරාධයක් නොවේ – ඉන්දියාව තවත් පිම්මක් ඉදිරියට!

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ ප්‍රකාශ කළ පරිදි අනාචාරය අපරාධ වරදක් නොවේ.


ගැහැණිය පිරිමියාගේ දේපළක් (male property) ලෙස සැලකූ යුගය නිමා කරමින් ඉන්දියාවේ මෙයින් ඉදිරියට බලපැවැත්වෙනු ඇත්තේ එම නීතියයි.

අවුරුදු 158 ක් පැරණි යටත් විජිත යුගයේ අපරාධ නීතියෙන් ඉන්දියාව මෑත කාලය තුළ ඉදිරි පිමි රාශියක්ම පැන්නේය. දණ්ඩ නීති සංග්‍රහයේ 177 වගන්තිය බල රහිත කරමින් සමරිසි හැසිරීම් (gay sex) අපරාධ වරදක් නොවන බව පැවසීම එයින් වඩාත්ම මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි. දෙවැන්න මෙයයි. මේ තීන්දු දෙකම මසක් වැනි කාලයක් ඇතුළත ලැබීම ද විශේෂත්වයකි.

අතීතයේ පැවති නීතිය අනුව අනාචාරයේ යෙදී හසුවන ස්ත්‍රිය එම වරද සඳහා ‘පොළඹවා ගන්නිය‘ (abettor) ලෙසද, පිරිමියා seducer ලෙස ද සැලකුණි.

එහිදී විවාහක කාන්තාවක් සමග, ඇගේ සැමියාගේ අවසරයකින් තොරව ලිංගික සබඳතා පවත්වන පිරිමියා අපරාධයක් කළා සේ සැලකිණි. එම ගැහැණිය අපරාධයට අනුබල දුන් තැනත්තිය ලෙස සැලකිණි. එසේම විවාහක කාන්තාවකට, සිය සැමියා අනාචාරයේ හැසිරෙන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ද ඉන්දියානු නීතිය අනුව මෙතෙක් පැවතුණේ නැත.

මෙම නීතියට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමකින් කියැවුණේ එම නීතිය අත්තනෝමතික බව සහ, ස්ත්‍රීන් හා පුරුෂයන් වෙනස්ලෙස සැලකීම්වලට භාජනය කරන්නක් වන බව ය. ඉතාලියේ ජීවත් වන 41 හැවිරිදි ජෝසප් ෂයින් නමැත්තෙකු විසින් එම පෙත්සම ගොනු කර තිබිණි. ස්ත්‍රීන්ට ‘වස්තුවක්/දෙයක්/පිරිමියාගේ දේපළක්‘ වශයෙන් නීතියෙන් සලකන අතරම පිරිමියා පමණක් විවාහයට බාහිර සබඳතා සඳහා සාපරාධී හැසිරීම්වලට වගකිව යුතු තත්වයට පත් කර ඇතැයි ඔහු එහිදී තර්ක කර සිටියේය.

පිටු 45 කින් යුත් එම පෙත්සම තුළ ඔහු විසින් ඇමරිකානු කවි රැල්ෆ් වුඩ්රෝ එමර්සන්, ස්ත්‍රී අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන මේරි වොල්ස්ටොන්ක්‍රාෆ්ට් සහ හිටපු ජගත් සංවිධාන මහලේකම් කොෆී අනන් විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ස්ත්‍රියගේ අයිතිවාසිකම් පිළිබඳ කර තිබූ සඳහන් ද උපුටා දක්වා ඇත.

දත්ත නොමැති හෙයින් මෙම පැරණි නීතිය යටතේ පිරිමින් කී දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පැවරුවේදැයි දැනගැනීමට නොහැකි නමුත්, එයින් සමාජයට දැඩි පීඩනයක් එල්ල වී තිබූ බව නම් නොරහසකි.

මේ සම්බන්ධයෙන් මීට පෙර ඉන්දීය අධිකරණයට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් ඉදිරිපත් ව තිබූ නමුත්, ඒවා ප්‍රතික්ෂේප කෙරුණේ, විවාහයේ ස්ථාවරත්වයට අගතිගාමී ලෙස බලපානු ඇත යන පදනම යටතේ ය.

එසේම මෙම නව තීන්දුවට පාලක භාරතීය ජනතා පක්ෂය සිය විරෝධය පළ කර ඇති අතර, ඔවුන් පවසන්නේ අනාචාරය තවදුරටත් සාපරාධී වරදක් වශයෙන්ම පැවතිය යුතු බව ය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අගවිනිසුරු දීපක් මිස්රා පැවසුවේ, අනාචාරය මේ අනුව ඉදිරියේදී අපරාධ වරදක් නොවුණත්, දික්කසාද නීතියේදී එය දික්කසාදය සඳහා වලංගු හේතුවක් වශයෙන් තවදුරටත් බලපැවැත්වෙනු ඇති බවයි. ලංකාවේ දික්කසාද නීතිය තුළ ද අනාචාරය සැලකෙන්නේ වෛවාහක වරදක් ලෙස ය.

එනම් ඉන්දියාව තුළ මෙයින් ඉදිරියට අනාචාරය අපරාධ වරදක් නොව, සිවිල් වරදක් පමණක් වේ.

මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි