×

අමර්තියා සෙන් කාශ්මීරය වෙනුවෙන්

ඉන්දියානු විද්වතෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ නොබෙල් සම්මානලාභී අමර්තියා සෙන්, කාශ්මීරයේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ‘විශේෂ තත්වය‘ ඉන්දියාවේ මෝදි අග්‍රමාත්‍යවරයා විසින් ඉවත් කිරීමට ගත් තීරණය දැඩි සේ විවේචනය කළේය.


ඔහු පැවසුවේ ලෝකයේ ප්‍රථම වරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කර ගත් බටහිර නොවන රාජ්‍යය වශයෙන් ඉන්දියාවට හිමිව තිබූ ගෞරවය මේ තීරණයත් සමග නැති වී යන බවයි.

‘‘ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර ගත් ප්‍රථම බටහිර නොවන රාජ්‍යය වශයෙන් ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදී තත්වය අත් කර ගැනීමට බොහෝ දේ කිරීමෙන් පසුවත් ඉන්දියානුවෙක් වශයෙන් මා මගේ රට ගැන ආඩම්බරයට පත් වන්නේ නැහැ.“ යැයි අමර්තියා සෙන් පැවසුවේ NDTV රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

අගෝස්තු 5 වැනිදා ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය මගින් කාශ්මීරය වෙත පිරිනමා තිබූ විශේෂ තත්වය ඉවත් කිරීමට මෝදි රජය කටයුතු කළේ, කාශ්මීර නොවන පුද්ගලයන් හට එම පළාතේ දේපළ මිලදී ගැනීමට සහ ව්‍යාපාර ආරම්භ කිරීමට තිබූ බාධාවන් ඉවත් කරමිනි. මේ සමගම දැඩි ඇඳිරි නීති තත්වයක් පැනවූ අතර, සියලුම සන්නිවේදන සම්බන්ධතා ද අවහිර කරනු ලැබීය.

NDTV රූපවාහිනී වැඩසටහනේදී නිවේදකයා මෙසේ අසයි.

‘‘ඉන්දියාව කාශ්මීරයේ විශේෂ තත්වය ඉවත් කරන්නට පෙළඹෙන්නේ ඇයි?‘‘

එයට අමර්තියා සෙන් ලබාදෙන පිළිතුර මෙසේ ය.

‘‘කාශ්මීර නොවන වැසියන්ට දේපළ මිලදී ගන්නට ඉඩ ලබාදීම තුළින් කාශ්මීර වැසියන්ට ‘මේක අපේ භූමිය‘ කියන අදහස අත්හැර දමන්න සිදු වෙනවා.“

‘‘එය කාශ්මීර වැසියන් විසින් තීරණය කළ යුතුව තිබූ දෙයක්. කාශ්මීර වැසියන්ට මේ තීරණය ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත නම්, අපට එය පිළිගන්න පුළුවන්.“

දැනට සති දෙකකට අධික කාලයක් මුළුල්ලේ පවත්වාගෙන එන සන්නිවේදන අවහිරය ද ඔහු විවේචනයට ලක් කළේය. ‘කාශ්මීර නිම්නය තුළ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ ඇති වීම වැළැක්වීමේ බොරු හේතුව යටතේ‘ සිදුකරන කාශ්මීර නායකයන් ව අත්අඩංගුවට ගැනීම අමර්තියා සෙන් විසින් හැඳින්වූයේ ‘යටත්විජිතකරණමය නිදහසට කාරණයක්‘ (“colonial excuse”) ලෙස ය.

‘‘ඒ විදිහට තමයි බ්‍රිතාන්‍යය මේ රට අවුරුදු 200 ක් පාලනය කළේ. අපි නිදහස ලබන විට මා අන්තිමටම බලාපොරොත්තු වූ දෙය තමයි, වාරණකාරී අත්අඩංගුවට ගැනීම්වල (preventive detentions) යටත්විජිතමය උරුමය වෙත අපි ආපහු යාවි කියන කාරණය..“

මතභේදයට තුඩු දී ඇති මහජන ආරක්ෂාව පනත හරහා ඉන්දීය ආරක්ෂක අංශ විසින් කාශ්මීර වැසියන් 4000 කට අධික පිරිසක් දැනට අත්අඩංගුවට ගෙන ඇත. මෙම පනතේ විධිවිධාන ලංකාවේ මහජන ආරක්ෂක පනතේ විධිවිධානවලට බොහෝ සෙයින් සමාන ය.

මෙමගින් ඕනෑම අයෙකු චෝදනාවකින් තොරව හෝ නඩු විභාගයකින් තොරව වසර 2 දක්වා සිරගත කිරීමට ඉන්දියානු බලධාරීන්ට හැකියාව ලැබේ. ඉන්දු කාශ්මීරයේ හිටපු මහඇමතිවරුන් ඇතුළු කාශ්මීර නායකයන් ගණනාවක් පසුගිය දිනවල මේ අන්දමින් නිවාස අඩස්සියට පත් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි