×

සුපිරි හෝටල් කාමරවලටත් වඩා සුපිරි, නෝර්වේ රටේ හිර ගෙවල්

සිරකාරියන්ට මාසික ඔසප් වීම දිනයේදී එක් සනීපාරක්ෂක තුවායකට වඩා ලබාදීමට වත්කමක් නැති ලංකාව වැනි රටකට, වැලිකඩ බන්ධනාගාරයට විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂාව තරකළ යුතු යැයි සිතන මානසිකත්වයක් ඇති ලංකාව වැනි රටකට නෝර්වේ රාජ්‍යයේ බන්ධනාගාර සංකල්පය තුළින් අපමණ පාඩම් ඉගෙන ගත හැකිය.


එහි ගියවිට ඔබට තමන් පැමිණ තිබෙන්නේ අති සුපිරි හෝටල් කාමරයක් වෙතටදැයි සැක සිතෙන්නට පුළුවන. නමුත් මේ නෝර්වේ රාජ්‍යයයි.

නෝර්වේ හි අපරාධ ප්‍රතිශතය ඉතා අඩු ය. එසේම ලෝකයේ අඩුම සිරකරු ජනගහනයක් ජීවත් වන රටවල් අතරින් එකක් වන්නේද නෝර්වේ රාජ්‍යයයි.

මෙම සිරකරුවන් අතරින් ද 30%ක් විදේශිකයන් වීම විශේෂත්වයකි. ‘‘නෝර්වේ ගිහින් හිරේ ගියත් සැපයි‘‘ යැයි ඔබට මේ ලිපිය අවසාන වන විට එනිසා සිතෙන්නට ද බැරි කමක් නැත.

මුළු රටම සැලකුව ද නෝර්වේ රාජ්‍යයේ සිරකරුවන් 4000 කට වඩා නැත. ඔවුහු ඉතා විශාල නිදහසක් බුක්ති විඳිති. එසේම මනා ලෙස පුනරුත්ථාපනය ද වෙති. කටුකම්බි ගසාගෙන, විදුලි සැර අල්ලාගෙන, දැඩි රැකවල් දමාගෙන සිරකරුවන් හා බන්ධනාගාර මුරකරන ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සෑම රටකටම නෝර්වේ වෙතින් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයකි.

විවෘත බන්ධනාගාර

නෝර්වේ රාජ්‍යයේ බන්ධනාගාර, එළිමහන් බන්ධනාගාර වේ. ඒවා වටකර වැටවල් බැඳ නැත. මෙම ‘විවෘත බන්ධනාගාර සංකල්පය‘ 1930 දශකයේදී පින්ලන්තයෙන් උපත ලැබුවකි. එය මේ වන විට ස්කැන්ඩිනේවියානු රටවල, එනම් නෝර්වේ සහ ස්වීඩනය යන රටවල අකුරටම ක්‍රියාත්මක කරයි. 

මේ අනුව සිරකරුවන්ට සිය ප්‍රජා ක්‍රියාකාරකම්වල යෙදෙමින් දඬුවම ගෙවන අතරවාරයේම එළිමහනේ රැකියා සඳහා යාමට ද අවස්ථාව උදා වී තිබේ.

නෝර්වේ රාජ්‍යයේ සිරකරුවන්ට සිය ජංගම දුරකථන මගින් අන්තර්ජාලය තුළ සැරිසැරීමට කිසිම බාධාවක් නැත. බන්ධනාගාර බලධාරීන් මේ සම්බන්ධයෙන් සිතන්නේ, ‘‘බාහිර ලෝකය සමග සම්බන්ධ වී සිටීම, සිරකරුවන්ගේ යහපැවැත්මට ඉතාම වැදගත්‘‘ කාරණයක් බව ය. එසේම ‘‘අන්තර්ජාලයට ගියා කියලා ඔබට හිරේ ඉඳන් මිනී මරන්න බෑ‘‘ යැයි මාධ්‍යවේදියෙකු වරක් මේ ගැන විමසූ විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිතුරු ලබා දී තිබේ.

ලැප්ටොප් සහ අන්තර්ජාල පහසුකම්

එසේම මෙම බන්ධනාගාර රැඳවියන්ගේ සුබ සාධනය සහ ඔවුන්ට පහසුකම් ලබාදීම වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය නොමසුරුව මුදල් වියදම් කරයි.

Credit: Prison Photography

එහිදී ඔවුන් ලබන සැප පහසුකම් මේ ඡායාරූප දෙස බැලීමෙන් ඔබට අවබෝධ කර ගත හැකිය. ඔවුන්ට ලැප්ටොප් පහසුකම් පවා තිබේ. 

100%ක පුනරුත්ථාපනය

පුනරුත්ථානය යන්න, බලෙන් ඇති කළ හැකි දෙයක් නොවන බවට ද නෝර්වේ රාජ්‍යෙය් බන්ධනාගාර සංකල්පය මේ වන විට සනාථ කර තිබේ. මෙහි ජීවත් වන සිරකරුවන් කිසිදු විටෙක පළා යාමට උත්සාහ කරන්නේ නැත. මරණ දණ්ඩනය තබා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් කියා දෙයක්වත් නෝර්වේ රාජ්‍යයේ නැත. මේ රටේදී උපරිම සිර දඬුවම වසර 21 ක් පමණි. දැඩි ආරක්ෂාවක් බන්ධනාගාරයට සපයා තිබෙන්නේ නූතන තාක්ෂණය භාවිතා කිරීමෙන් මිස, අවි ගත් සෙබළුන් හෝ මුර භටයන් අඟලෙන් අඟල රඳවා තැබීමෙන් නොවේ. එසේම බන්ධනාගාර රැඳවියන්ට ඉතා ඉහළ තත්වයේ මනෝ චිකිත්සක වැඩමුළු, ජීවන කුසලතා වැඩමුළු යනාදිය ද මෙහි පැවැත්වෙයි.

මේ සියල්ලේම ප්‍රතිඵලයක් වශයෙන් නෝර්වේ බන්ධනාගාරයකින් පිටතට පැමිණෙන්නා සමාජයට අවැඩක් නොකරන, මනා ලෙස පුනරුත්ථාපනය වූ තැනැත්තෙකි. සිර දඬුවමක් විඳීමෙන් පසුව, එම රැඳවියා නැවත බන්ධනාගාරගත වීමේ ප්‍රතිශතය ලෝකයේ අඩුම රටක් වන්නේ ද නෝර්වේ රාජ්‍යයයි.

ප්‍රධාන ඡායාරූපය – Reddit



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි