×

ඉතින් ඔවුන් මිය ගොසිනි…

තම සමීපතමයන් ට සිදුවූ දේ සොයාගත නොහැකිව සිටින විට, හරියටම අවුරුද්දකුත් දවසකට පසුව ඒ සබ්මැරීනය නැවත හමුවිය.


ආර්ජන්ටිනා නාවික හමුදාවට අයත් ARA San Juan (සැන් ජුවන් සබ්මැරීනය) හරියටම වසරකුත් දවසකට පසුව දකුණු අත්ලන්තික් සයුරෙන් මතු වුණේ, ඒ 44 දෙනාගේ ඥාතීන්ට ඉරණම ගැන සහතිකයක් දී යන්නටද? ඔවුන්ට නොහඬා ඉන්න යැයි කියන්නටද..?

ආරංචිය ලද සැණින් ආර්ජන්ටිනාවේ නාවික හමුදා මූලස්ථානය වෙත රැස් කමින් සිටි ඒ 44 දෙනාගේ ඥාතීන්ට අවසානයේ දකින්නට ලැබුණේ සිය ප්‍රියයන් සමග ගිලී ගිය සැන් ජුවන් සබ්මැරීනයේ ඡායාරූප තුනකි. සම්බැරීනයේ මස්තකය සහ පාදම කොටස් ඒවායින් දැක්විණි.

ඔව්, එය පුපුරා ගොස් තිබිණි. මළකඩ කා තිබිණි. අඩි 2850 ක් හෙවත් මීටර 870 ක් ගැඹුරු මුහුදු පත්ලේ සැඟවී තිබිණි.

මහා අනතුරෙන් වසරකට පසු ඔවුන් පැමිණියේ තම ප්‍රියයන් ජීවතුන් අතර සිටින බව අසන්නටද? කොහෙත්ම නැත. Ocean Infinity නමැති ඇමරිකානු කණ්ඩායමක් යොදවා ආර්ජන්ටිනා නාවික හමුදාව මේ මෙහෙයුම කරන විට, අඩි 60 ක් දිගට පෙනෙන දියබත් වූ වස්තුව ඒ සැන් ජුවන් සබ්මැරීනය යැයි සැක කරන බවට ට්වීට් කළේ ආර්ජන්ටිනා නාවික හමුදාවම ය. ඉතින් ඔවුන් පැමිණ සිටියේ ඒ ඉරණම ගැන පුවත සනාථ කර ගන්නට ය. ඔවුන් පැමිණ සිටියේ සැබවින්ම සිදුවූ දෙය දැනගැනීමට ඇති අයිතිය වෙනුවෙනි.

‘‘නැහැ. අපට ඒ සුන්බුන් මුහුදෙන් ගොඩ ගන්නට තාක්ෂණයක් නැහැ. උපකරණ නැහැ.“ යැයි බලධාරීහු පවසති.

ආර්ජන්ටිනාවට නුදුරු මුහුදේදී සැන් ජුවන් සබ්මැරීනය ගිලී ගියේ 2017 නොවැම්බර් 15 වැනිදා ය. බාහිර ලෝකය සමග සබඳතාවය නැති වී යන්නට පෙර, එහි බැටරි පරිපථයේ යම් දෝෂයක් තිබෙන බව එහි කපිතාන් විසින් කියා තිබිණි. එයට හේතු වන්නේ මුහුදු වතුර පරිපථයට කාන්දුවීම විය හැකි බව ද ඔහු කීවේය.

එයින් දින කිහිපයකට පසුව ඇමරිකානු ග්‍රාහක පද්ධතියට සහ අන්තර්ජාතික න්‍යෂ්ටික අවි නිරීක්ෂණ ආයතනයකට හසු වී තිබුණේ පිපුරුම් හඬකට සමාන ශබ්දයකි.

එපමණකි. පුරා වසරක් ගත වන තෙක් ඉන්පසු සියල්ල නිහඬ විය.

නමුත් අවම වශයෙන් සිදුවූ දේ දැනගැනීමට ඥාතීන්ට අයිතියක් තිබේ. ඒ නිසා ආර්ජන්ටිනාව, සැන් ජුවන් සොයාගැනීමේ මෙහෙයුම අත්හැරියේ නැත. ඒ සඳහා නෞකා 28 ක් යෙදවුණේය. ගුවන් යානා 9 ක් ද යෙදවුණේය. ඇමරිකාව සහ එංගලන්තය ද ඇතුළුව ලෝකයේ රටවල් 11 ක් ඒ සඳහා දායක කර ගැනිණි. ආර්ජන්ටිනා වෙරළ කේන්ද්‍රකරගත් කිලෝමීටර 900 ක ප්‍රදේශයක් ඔවුන්ගේ දැඩි නිරීක්ෂණයට හසුවිය. සති දෙකකට පසුව ඒ මහා සෝදිසි මෙහෙයුම අතහැර දැමුණේ, ‘කිසිවෙකුත් ජීවතුන් අතර සිටීමට ඉඩක් නැතැයි“ පවසමිනි. නමුත් මහා පරිමාණයෙන් නොවුණ ද සෝදිසි කිරීම් තවදුරටත් සිදුවිය.

නැවත කිසිදා නොඒමට ඉඩ ඇතත් ඥාතීන් යාඥා කිරීම අත්හැරියේ නැත. ඒ 44 දෙනා අතර, ආර්ජන්ටිනාවේ ප්‍රථම සබ්මැරීන නිලධාරිනිය වූ එලියානා මරියා ක්‍රාව්ස්ක් (Eliana Maria Krawczyk) ද වූවාය.

Ocean Infinity ඇමරිකානු සමාගම සතුව Seabed Constructor නමින් අති විශේෂ නෞකාවක් තිබේ. එය සෝදිසි මෙහෙයුම් සඳහා අධි තාක්ෂණය භාවිතා කරන්නකි. සදහටම අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් M 370 යානය සාගර පත්ල පීරමින් සෙවීම භාර කර තිබුණේ ද එම නෞකාව ට ය.

සැන් ජුවන් සබ්මැරීනය, පැරණි ඩීසල් සබ්මැරීනයක් විය. එය 1980 දශකය මැද භාගයේදී ජර්මනියේ නිපදවන ලද්දකි. අතුරුදන් වීමට පස් වසරකට පෙර එයට අලුත් බැටරි සහ අලුත් එන්ජින් සවිකරනු ලැබිණි. මේ සබ්මැරීනයේ ජීව කාලය (shelf life) වසර 30 ක් පමණක් බව එදා ජර්මනිය කීවේය. මේ වන විටත් සාගර පත්ලේ තිබෙන දැඩි පීඩනය හමුවේ ඒ මළකඩ කඳ කැබලි වලට පුපුරා ගොස් ඇති බවට සැක නැත. ජීව කාලය ඉක්මවා සිටි යකඩ ගොඩක් වෙත ජීවිත 44 ක් භාරකළ පවෙන් නිදහස් වන්නට ආර්ජන්ටිනාවට කිසිදා නොහැකි වනු ඇත. මේ කඳුළ, මේ විලාපය, ඔවුන්ට කිසිදා සමාව නොදෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි