×

පිලිපීනයේ උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළට

පෙබරවාරි මාසයේ උද්ධමනය සඳහන් වූයේ 8.6% වශයෙනි.


යුද්ධයෙන් විනාශ වූ මියන්මාරය සහ සමාජවාදී ලාඕසය හැර අග්නිදිග ආසියාවේ අනිකුත් රටවලට සාපේක්ෂව පිලිපීනයේ උද්ධමනය අතිශය සීඝ්‍රයෙන් ඉහළ නගිමින් ඇති බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි මාසයේ එය සඳහන් වූයේ 8.6% වශයෙනි.

පිලිපීනය මේ වන විට සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය ඉක්මවා ගොස් ඇති අතර රජයේ සංඛ්‍යාලේඛණයන්ට අනුව අඩු ආදායමිලාභී පවුල්වල තත්වය වඩාත් දුෂ්කර බව වාර්තා වේ.

පරිභෝජන බදු ඉහළ නැංවීම හා මහජන උපයෝගිතා පුද්ගලීකරනය කිරීමෙන් පසු නිෂ්පාදන හා බෙදා හැරීමේ පිරිවැය ඉහළ යාම ඉන්ධන බදු හා සුරා බදු ආදිය ඇතුළු සාධක හේතුවෙන් පිලිපීනයේ උද්ධමනය ඉහළ ගිය බව වාර්තා වන අතර අත්‍යාවශ්‍ය ආහාර හා ජීවන වියදම් සීඝ්‍රයෙන් ඉහළ නගිමින් ඇති අතර අඩු ආදායම් ලාභී පවුල්වල ඉපැයීම්වලින් 60%ක් ආහාර හා පෝෂණ අවශ්‍යතාවයන් වෙනුවෙන් වැය කරන බව වාර්තා වේ.

ජලය හා විදුලිය සම්බන්ධ මිල ගණන් ඉහළ යාම වැළැක්වීම වෙනුවෙන් තවදුරටත් රජයට මැදිහත් වීමට නොහැකි වී ඇති අතර ආසියාවේ ජපානයට පසුව ඉහළම විදුලි ජල මිල ගණන් ඇත්තේ පිලිපීනයේ බව වාර්තා වේ. මේ වන විට පිලිපීන මහ බැංකුව විසින් පොළී අනුපාතය 6.26කින් ඉහළ නැංවා ඇති අතර එය තවදුරටත් ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි