×

නේරුගෙන් නියත විවරණ ලද වජ්පායි

අගමැති ජවහර්ලාල් නේරු වරක් විදෙස් අමුත්තකුට ඔහුව හඳුන්වා දුන්නේ “මේ තරුණයා දිනෙක ඉන්දියාවේ අගමැති බවට පත්වන්නේ ය” යයි සඳහන් කරමිනි.


දෙසැම්බර් 25 වනදා ලෝකයම නත්තල සමරද්දී ඉන්දීය දේශපාලනය පිළිබඳ උද්‍යෝගයක් ඇති අය විසින් සිහි කෙරෙන​ පුද්ගලයකු වන්නේ අතල් බිහාරි වජ්පායි ය​. ඉන්දියාවේ අගමැති ලෙස තෙවරක් පත්වූ වජ්පායි සිය මුළු ධුර කාලය සපුරාලීමට සමත් වූ කොන්ග්‍රස් පාක්ෂික නොවූ පළමු ඉන්දීය අගමැතිවරයා විය​. කඩින් කඩ​ දශක හතරකට වැඩි කලක් ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු භාරතීය ජනතා පක්ෂයේ සමාරම්භක සභාපතිවරයා වූයේ ය​.

වජ්පායි උපන්නේ 1924 දෙසැම්බර් 25 වනදා ය​. තරුණ කාලයේම රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් (RSS) සංවිධානයට බැඳුණු ඔහු එහි ප්‍රචාරක්වරයකු බවට පත්වූයේ ය​. 1951 දී භාරතීය ජන සංග් පක්ෂය නිර්මාණය කරන අවස්ථාවේ එහි සාමාජිකයකු වූ හෙතෙම 1957 දී බාල්රාම්පූර් ආසනයෙන් මුල්වරට ලෝක් සභාවට තේරී පත්වූයේ ය​. ඔහුගේ කථිකත්වය පිළිබඳ පැහැදුණු අගමැති ජවහර්ලාල් නේරු වරක් විදෙස් අමුත්තකුට ඔහුව හඳුන්වා දුන්නේ “මේ තරුණයා දිනෙක ඉන්දියාවේ අගමැති බවට පත්වන්නේ ය” යයි සඳහන් කරමිනි.

1977 දී ජනතා පක්ෂ ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දියාවේ විදේශ ඇමති ලෙස පත්වීම් ලද වජ්පායි සෝවියට් මෙන්ම බටහිර කඳවුර සමග ද සබඳතා පැවැත්වීමට උත්සුක වූයේ ය​. කෙසේ වෙතත් ජනතා පක්ෂ ආණ්ඩුව තුළ ඇතිවූ ගැටුම් උත්සන්න වීමත් සමග වජ්පායි ඉන් ඉවත්වූයේ ය​. ආණ්ඩුව 1979 දී බිඳවැටුණ අතර 1980 පවත්වන ලද මැතිවරණයෙන් ඉන්දිරා ගාන්ධි යළි අගමැති බවට පත්වූවා ය​.

1980 මැතිවරණයෙන් අනතුරුව පැරණි ජනතා පක්ෂයෙන් ඉවත් වූ හින්දුත්වවාදී කණ්ඩායම පැරණි භාරතීය ජන සංග් පක්ෂය වෙනුවට අභිනවයෙන් භාරතීය ජනතා පක්ෂය පිහිටවූහ​. වජ්පායි එහි මුල්ම සභාපතිවරයා විය​.

ජනතා පක්ෂ ආණ්ඩුව තුළ දී මෙන්ම ඉන් පසුව ද වජ්පායි ගෙනගියේ අන්ත හින්දුත්වවාදී මතවාදයෙන් තරමක් මධ්‍යස්ථ තැනක වූ මතවාදයකි. කෙසේ වෙතත් 1984 මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ලද බරපතල පසුබෑමත් සමග එම පක්ෂය යළි අන්ත හින් දුත්වවාදය කරා නැඹුරු වූයේ ය​. 1986 දී ලාල් ක්‍රිෂ්ණ අද්වානි පක්ෂයේ සභාපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව එම තත්ත්වය තවත් වැඩිදියුණු විය​. එම පදනම ඔස්සේ 1989 මහමැතිවරණයේදී ආසන 85 ක් දක්වා සිය පාර්ලිමේන්තු බලය වර්ධනය කරගැනීමට පක්ෂය සමත් විය​.

කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂයට බලයට පැමිණීමේ අවස්ථාවක් මුලින්ම උදා වූයේ 1996 දී එම පක්ෂය ආසන 161 ක් දිනා පාර්ලිමේන්තුවේ තනි විශාලම පක්ෂය බවට පත්වීමත් සමග ය​. වජ්පායි වෙත ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කෙරුණ අතර ඒ අනුව ඔහු අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ ය​. නමුත් දින දහතුනක් ඇතුලත ඔහු තමන්ට ප්‍රමාණවත් සහයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බව පිළිගෙන ඉල්ලා අස්වූයේ ය​. මේ අනුව සමගි පෙරමුණු (United Front) ආණ්ඩුවට මාර්ගය විවර විය​.

අස්ථාවර සමගි පෙරමුණු ආණ්ඩුව 1998 දී බිඳවැටුණ හෙයින් නව මැතිවරණයක් කැඳවන ලදී. එහිදී ද භාරතීය ජනතා පක්ෂය ලෝක් සභාවේ විශාලම පක්ෂය ලෙස පත්වෙමින් ආසන 182 ක් දිනාගත්තේ ය​. තෙලිඟු දේසම්, සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (AIADMK) ආදී පක්ෂවල සහයෙන් වජ්පායි නැවත අගමැති ලෙස පත්වූයේ ය​. 1999 දී ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කෙරුණ අතර ජයලලිතාගේ AIADMK පක්ෂය ඊට සහය නොදීම හේතුවෙන් වජ්පායි එක් ඡන්දයකින් පරාජය වූයේ ය​. මේ අනුව නව මැතිවරණයක් කැඳවන ලදී.

වසර කිහිපයක දේශපාලන අස්ථාවරත්වය නිම කරමින් 1999 මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය බලයට පත් වූයේ ය​. බීජේපී ය නැවත වරක් ආසන 182 ක් තනිව දිනාගත්තේ ය​. මෙවර වජ්පායි සිය වසර පහේ ධුර කාලය සම්පූර්ණ කළේ ය​. එක් අතකින් සිය පක්ෂයේ අන්ත හින්දුත්වවාදය වෙනුවට මධ්‍යස්ථ මතවාදී ස්ථාවරයක් ගනිමින් ඔහු බලය රැකගැනීම සඳහා සභාගය පවත්වාගන්නට සමත් විය​. එමෙන්ම ඔහුගේ ආණ්ඩුව ආර්ථික ලිබරල්කරණය කෙරෙහි සැලකියයුතු අවධානයක් යොමු කළේ ය​.

2004 දී වජ්පායි යළි බලයට පත්වනු ඇතැයි බොහෝ අනාවැකි පළ වුවද අනපේක්ෂිත ලෙස ඔහුගේ සන්ධානය මැතිවරණ පරාජයක් ලද්දේ ය​. 2009 දී සෞඛ්‍ය හේතූන් මත වජ්පායි දේශපාලනයෙන් සමුගත්තේ ය​.

වජ්පායිගේ නායකත්වය යටතේ ඉන්දියාව 1998 දී පොක්රාන්-2 න්‍යෂ්ඨික අත්හදාබැලීම් සිදුකළ අතර 1999 කාර්ගිල් යුද්ධයට ද සාර්ථක ලෙස මුහුණ දුන්නේ ය​. කෙසේ වෙතත් 2002 ගුජරාට් සමූලඝාතන අවස්ථාවේ ඔහුගේ ක්‍රියාකලාපය බෙහෙවින් විවේචනයට ලක් වූයේ ය​. එවකට ගුජරාට් මහ ඇමති වූ නරේන්ද්‍ර මෝදි ධුරයෙන් ඉවත් කිරීමට ඔහු ක්‍රියා නොකිරීම ඊට හේතු වූයේ ය​. මෝදි ඉවත් නොකිරීම තමන් කළ වරදක් බව ඔහු බොහෝ කලකට පසු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය​. නමුත් ඒ වනවිට මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය කරා සිය මාවත විවර කරගෙන අවසන් ය​. එම අවස්ථාවේ වජ්පායි වෙනස් ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් වර්තමාන ඉන්දියාව කෙසේ වේද යන්න ඉතිහාසයේ ඔහු විසින් ඉතිරිකර තබා ගිය ප්‍රශ්නයකි.

~ චාමර සුමනපාල



#morearticles

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි