×

ඔස්ට්‍රේලියාවට අවුරුදු 5 ට අගමැතිලා 5 දෙනෙක්! නව අගමැති ස්කොට් මොරිසන්

මධ්‍යස්ථ අගමැති ගෙදර යවා, චීනය අප්‍රිය කරන, නීති විරෝධී සංක්‍රමණිකයන් නාවුරු දුපතට යවන ස්කොට් මොරිසන් අගමැති බවට පත්වෙයි.


ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ස්කොට් මොරිසන් (Scott Morrison) දිවුරුම් දුන්නේය. ඒ, මැල්කම් ටර්න්බුල් හට සිය පක්ෂයේ ජනප්‍රියත්වය අහිමි වීමේ අර්බුදය කූට ප්‍රාප්තිය වෙත ගෙන යමිනි.

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ රාජ්‍ය නායකත්වය මුහුණ දෙන බරපතළම ගැටළුව බවට පත්ව තිබෙන්නේ අගමැති ධුරයට පත්වීමෙන් පසු පක්ෂය තුළ ජනප්‍රියත්වය අහිමි වීමයි. මේ අනුව ගතවූ වසර 5 තුළ බිහිවූ ඔස්ට්‍රේලියාවේ 5 වැනි අගමැති වන්නේ ස්කොට් මොරිසන් ය.

මෙම නායකත්වය ගැටළුව හටගත්තේ පසුගිය අඟහරුවාදා මැල්කම් ටර්න්බුල්ට එරෙහිව ස්වදේශීය කටයුතු අමාත්‍ය පීටර් ඩුටන් ගේ ජනප්‍රියත්වය උරගා බැලීම මගිනි. එහිදී ටර්න්බුල් 35-48 ක් වශයෙන් සිය නායකත්වය රැක ගැනීමට සමත් විය. නමුත් නොබෝ දිනකින් ම ටර්න්බුල්ගේ නායකත්වයට නැවත අභියෝගයක් එල්ල වේවිද යන පැනය එවිට ද පැන නැගුණු අතර, සිතූ පරිදිම එයට දෙදිනකට පෙර අර්බුදය තවත් උත්සන්න විය.

ඉන්පසුව එය පක්ෂ නායකත්වය පිළිබඳ තුන් කොන් තරගයක් බවට පත්විය. මෙහි තරගකරුවන් වූයේ ටර්න්බුල්ගේ භාණ්ඩාගාරික ස්කොට් මොරිසන්, මැක්ලම්ගේ විදේශ කටයුතු ඇමතිනී ජුලී බිෂොප් සහ හිටපු ස්වදේශික කටයුතු ඇමති පීටර් ඩුටන් අතර ය. ජුලී බිෂොප් පළමු වටයෙන්ම ඉවතට විසිවිය. ඒ අනුව මෙම තරගය මොරිසන් සහ ඩුටන් අතර තරගයක් බවට පත්විය. අවසානයේ ස්කොට් මොරිසන් 45-40 වශයෙන් ඩුටන් පරදවා ජය ලබාගත්තේය.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයේ නායකයා වශයෙන් පමණක් නොව එරට 30 වැනි අග්‍රමාත්‍යවරයා වශයෙන් ද ඔහු අද දින දිවුරුම් දුන්නේ, මහරැජිනගේ ඔස්ට්‍රේලියානු නියෝජනය වනන ජනරාල් ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝ (General Sir Peter Cosgrove) ඉදිරියේය.

අගමැතිවරයා වශයෙන් ඔහු කළ ප්‍රථම කතාවේදී ඔහු අවධාරණය කළේ බෙදී වෙන් වී සිටින ලිබරල් පක්ෂය තුළ සමගිය ස්ථාපනය කිරීම පිළිබඳව ය.

චීන භීතිකාව

ස්කොට් මොරිසන්, ටර්න්බුල්ගේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වූ අතර, ඔහු ටර්න්බුල්ගේ සමීපතමයෙකු ලෙස ද සැලකේ. මේ වසරේ මුල භාගයේ විදෙස් අතපෙවීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දුන්නේ ද ස්කොට් මොරිසන් විසිනි. ජාතික ආරක්ෂාව සහ ආරක්ෂණවාදී පදනම මත සිට කටයුතු කරන්නෙකු ලෙස ප්‍රකට ස්කොට් මොරිසන්, ඒ අනුව චීනය සමග වඩාත් දුරස්ථ සබඳතාවක් හැමවිටම පවත්වාගෙන ගිය අයෙකු ලෙස ප්‍රකට ය. ඔහු චීන ආයෝජන සහ චීනය සමග විශාල වශයෙන් ආර්ථික සබඳතා ඇති කර ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන අයෙකි. ලිබරල් මතවාදියෙකු වුවද, ස්කොට් මොරිසන් අයත් වන්නේ ලිබරල් පක්ෂයේ කොන්සවේටිව් අංශයට ය.

අගමැති වීමට පෙර දිනයේ පීටර් ඩුටන් ජනප්‍රිය ඡන්දය පැරදීමත් සමග මහත්මයෙකු ලෙස හැසිරෙමින් තමන් දැරූ ස්වදේශීය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය. මේ නිසා වැඩ බලන ස්වදේශීය කටයුතු ඇමති වශයෙන් පත් කර සිටියේ ස්කොට් මොරිසන් ය. ඔහු මෙම අගමැති ධුරයේ දිවුරුම් දීමට පෙර දිනයේ, එනම් ඊයේ, චීන ටෙලිකොම් යෝධයෙකු වන හුආවෙයි සමාගමට (Huawei) ඔස්ට්‍රේලියාවට 5G ජාලය සැපයීම තහනම් කළේය.

එසේම ස්කොට් මොරිසන්, දැඩි මතධාරී සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්ති නඩත්තු කරන්නෙකු ලෙස ද ප්‍රකට ය. ටර්න්බුල්ගේ පරිපාලනය තුළ සංක්‍රමණික අමාත්‍යවරයා වශයෙන් ද කලක් සේවය කළ ස්කොට් මොරිසන්, නාවුරු වැනි දුරස්ථ දූපත්, සංක්‍රමණිකයන් රඳවා තැබීමේ නීති රීති හඳුන්වා දුන්නේය.

ඔහුගේ පවුල් පසුබිම අනුව ඔහු පොලිස් භටයෙකුගේ පුතෙක් වන අතර, සිඩ්නි හි පෙන්තකොස්ත ඉවැන්ජලික මෙගා චර්ච් හි සක්‍රිය සාමාජිකයෙකි. මැල්කම් ටර්න්බුල් සමරිසි අයිතීන් වෙනුවෙන් ලබාදුන් සමරිසි විවාහ නීතිගත කිරීමේ අරගලයේදී ඔහු සම්පූර්ණයෙන්ම එයට විරුද්ධව කටයුතු කළේය.

ආණ්ඩුව තවදුරටත් අස්ථාවරයි.

ඩුටන් සහ මොරිසන් අතර ඡන්දය 45-40 වශයෙන් බෙදී යාමෙන් පෙන්වන්නේ ලිබරල් පක්ෂය එහි නායකත්වය සම්බන්ධයෙන් තවමත් දැඩි සේ බෙදුම්කාරී මතයක සිටින බවයි.

එසේම මේ වන විට ලිබරල් පක්ෂය දැඩි මුදල් අර්බුදයකට ද මුහුණ දී සිටියි. පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී ප්‍රතිවිරුද්ධ ලේබර් පක්ෂය පරදවා ලිබරල් පක්ෂයේ ජයග්‍රහණය සහතික කළ සිදුවීමක් වශයෙන් සැලකන්නේ ලිබරල් පක්ෂයේ ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයයි. ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසය තුළ මේ සඳහා ලබාදුන් විශාලතම මූල්‍ය දායකත්වය වූ ඇමරිකානු ඩොලර් මිලියන 1.75 ක මුදල ප්‍රදානය කළේ මැල්කම් ටර්න්බුල් විසිනි. නමුත් මෙම අර්බුදය හමුවේ ඉල්ලා අස්වීමෙන් නොනැවතී තමන් මීලඟ මහ මැතිවරණයට තරග නොකරන බව ද පවසා ඇත. මේ අනුව මීළඟ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේදී ලිබරල් පක්ෂයට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවනවා ඇත.

වසර 5 තුළ අගමැතිලා පස් දෙනෙක්

ඔස්ට්‍රේලියාව අගමැතිවරයා ලෙස තෝරා පත් කරගන්නේ ආණ්ඩු බලය හිමිවන පක්ෂයේ නායකයා ය. ගත වූ වසර 5 ක කාලය තුළ අගමැතිවරුන් 5 දෙනෙක් තෝරාපත් කර ගැනීමට සිදුවූ අතර, ඒ සියලුම දෙනා අගමැති ධුරයට පත්වූයේ පක්ෂය තුළ හටගත් නායකත්ව අර්බුදය හේතුවෙනි. මේ නිසා මේ වන විට ඔස්ට්‍රේලියාව සැලකෙන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ කුමන්ත්‍රණ අගනුවර‘ යන කුප්‍රකට නාමයෙනි.

පහත දැක්වෙන්නේ 2013 – 2018 කාලය තුළ, එනම් වත්මන් අගමැති ස්කොට් මොරිසන්ට පෙර පක්ෂ නායකත්වයේ අර්බුදය හේතුවෙන් ගෙදර ගිය අගමැතිවරුන්/වරියන් සිව් දෙනා ය. ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආණ්ඩුවේ ධුර කාලය වසර 3 කි. පහත දැක්වෙන සිව් දෙනාම වසර 3 ක කාලයක් එහි නායකත්වය දැරීමට සමත් වූයේ නැත.

Abbott-Turnbull-Gillard-Rudd | Mamamia

Abbott-Turnbull-Gillard-Rudd | Pix- Mamamia

කෙවින් රඩ්  Kevin Rudd 2010–2013
ජුලියා ගිලාඩ් Julia Gillard 2010–13
ටෝනි ඇබොට් Tony Abbott 2013–15
මැල්කම් ටර්න්බුල් Malcolm Turnbull 2015–18



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි