×

ෂහිදුල් නිදහස්! ඒත්…

පුරා දින 102 ක් රඳවා තබාගත් බංග්ලාදේශයේ කීර්තිමත් මාධ්‍යවේදී ෂහිදුල් අලාම් (Shahidul Alam) ඇප මත නිදහස් වුණේය.


63 හැවිරිදි මේ මාධ්‍යවේදියා ‘ජ්‍යේෂ්ඨ‘ මාධ්‍යවේදියෙකු වූයේ වයස හේතුවෙන් නම් නොවේ. 2018 අගෝස්තු 5 වැනිදා ඔහු අල් ජසීරා පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේය. එහිදී ඔහු කීවේ මොනවාද…? රටේ ශිෂ්‍ය අරගලවල යෙදී සිටින ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් ගැන ඔහු කතා කළේය. ඔහු එම ශිෂ්‍ය උද්ඝෝෂණ ආවරණය කරන මාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කර තිබුණි. එනිසා ඔහු බොහෝ දේ දැක තිබිණි. ඒ වනවිට දස දහස් ගණන් ශිෂ්‍යයන් පාරට බැස සිටියේ ආරක්ෂිත මාර්ග ලබාදෙන ලෙස බලධාරීන්ට බල කරමිනි. මේ උද්ඝෝෂණ හටගෙන තිබුණේ තරුණයන් දෙදෙනෙකු මාර්ග අනතුරකින් මිය යාමත් සමගය. එයින් සමාජයේ ඇති වූ කලබලය හේතුවෙන් ශිෂ්‍යයන් පාරට බැසි අතර, පොලිසිය දරුණු ලෙස ඔවුන් ව මර්දනය කළේය. එහිදී අමානුෂික ලෙස පහර දෙමින් ශිෂ්‍යයන් 100 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට තුවාළ සිදුකරන්නට බලධාරීන් පැකිළුණේ නැත. ශිෂ්‍යයෝ කරුණු 9 කින් යුත් ඉල්ලීම් ඉදිරිපත් කළහ. ඔවුන් තර්ක කළේ එක්කෝ ඒවා ඉටු කළ යුතු බව ය. නැතිනම් මාර්ග ඇමති ඉල්ලා අස්විය යුතු බවය. මේ සටනට සහාය දෙමින් අවුරුදු 13 තරම් වයස්වල සිසුවෝ පවා පාරට බැස්සහ. උද්ඝෝෂකයෝ මාර්ගවල රථවාහන පාලනය කිරීමට පටන් ගත්හ. Shahidul Alam

පාලක අවාමි ලීගය, ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් මෑත කාලයේ වඩාත්ම අපහසුතාවට හා කෝපයට පත් වූ අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය. ඔවුහු ශිෂ්‍යයන්ව දැඩි මර්දනයකට යටත් කළහ. කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ වරුසා ශිෂ්‍යයන් මත එල්ල විය. ශිෂ්‍යයන් ගණනාවක්ම අත්අඩංගුවට ද ගැනිණි. ෂහිදුල් අලාම් නිතරම සිටියේ ‘මිනිසුන් අතර‘ ය. ඔහු ෆේස්බුක් හරහා, ආණ්ඩුව විසින් ම්ලේච්ඡ අන්දමින් ශිෂ්‍යයන් මර්දනය කරන ආකාරය සජීවී ලෙස ලොවට පෙන්වීය.

එයින් පැය කිහිපයක් ඇතුළත ඔහු අත්අඩංගුවට පත් විය.

ඩකා අගනුවර ධම්මෝන්දි හි පිහිටා තිබූ ඔහුගේ නිවස වෙත කඩා වැදුණේ බංග්ලාදේශ් පොලිසියේ විශේෂ ඒකකයකි.

ප්‍රසිද්ධ ප්‍රකාශ මගින් සාමය කඩකිරීමේ යෙදුණේ යැයි බංග්ලාදේශයේ පාලක අවාමි ලීගය ඔහුට චෝදනා කළේය.

ෂහිදුල් අලාම් සම්මානනීය ප්‍රවෘත්ති ඡායාරූපශිල්පියෙකි. එනම් photojournalist හෙවත් සේයා මාධ්‍යවේදියෙකි. පුරා 40 වසරක් දිවෙන ඔහුගේ මාධ්‍යෙව්දී ජීවිතයේදී බංග්ලාදේශයේ පමණක් නොව බටහිර ලෝකයේ ද සෑම ප්‍රධාන පෙළේ මාධ්‍යයකම පාහේ ඔහුගේ ඡායාරූප සටහන් පළ කර තිබිණි. ඔහු ආධුනික ඡායාරූප ශිල්පීන් සිය ගණනකට ශිල්පාලෝකය ලබාදී තිබේ. එසේම ඔහු එක්සත් රාජධානියේ සන්ඩර්ලන්ඩ් සරසවියේ ආධුනික කථිකාචාර්යවරයෙකු විය. එසේම ඔහු 2014 වසරේදී රටේ ඉහළම සිවිල් සම්මානය වන ශිල්පකලා පදක් ද දිනා සිටියේය.

නමුත් මේ කිසිවක් ෂහිදුල් මර්දනය කිරීමේදී බංග්ලාදේශයට වැදගත් වුණේ නැත. ඔවුන් නොසන්සුන් වී සිටියේ ඔහු රටේ ප්‍රබල සිවිල් ක්‍රියාකාරිකයෙකු ද වු නිසාය. එවැනි අය බොහෝ විට ආණ්ඩුවලට ආසාත්මික ය.

ෂහිදුල්ට දිගින් දිගටම ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණේය. ඔහුව ප්‍රශ්න කිරීමේදී නොයෙක් වධහිංසාවලට ලක් කළ බව පැවසේ. සිර මැදිරියේදී ඔහුට නින්දා කළ බවට ද වාර්තා තිබේ.

බංග්ලාදේශය දුසිම් ගණන් මාධ්‍යවේදීන් සහ සමාජ ජාලා පරිශීලකයන් ද ඇතුළුව සිය ගණන් බ්ලොග් රචකයන් දඩයම් කිරීමට පාවිච්චි කරන්නේ ‘තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත‘ (Information and Communication Technology Act-ICTA) යි. එහි 57 වගන්තිය යටතේ අපහාසයක් හෝ දේවාපහාසයක් සහිත ඔන්ලයින් අන්තර්ගතයක් (ඔන්ලයින් කන්ටෙන්ට්) පළ කිරීම අපරාධ වරදකි. ෂහිදුල් අත්අඩංගුවට ගත් මාසයට පසු මාසයේ, එනම් සැප්තැම්බර් මාසයේ චිට්ටගොන්ග් සරසවියේ මහාචාර්යවරයෙකු වූ මයිදුල් ඉස්ලාම් (Maidul Islam) අත්අඩංගුවට ගැනුණේ, වෙනයම් දෙයක් නිසා නොව අගමැතිවරිය ෂේක් හසීනා විවේචනය කරමින් ෆේස්බුක් පෝස්ට් එකක් දැමීම නමැති සරල කාරණය නිසාය.

සම්මානනීය ලේඛිකා අරුන්දතී රෝයි විවෘත ලිපියක් ලියමින් මෙසේ කීවාය. ‘‘ෂහිදුල් ඇතුළු පිරිසගේ සිදුවීමේදී පොලිසිය පවා ඉහළ උසාවිවලින් ඔවුන් නිදොස් වී නිදහස් වන බව දන්නවා. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ වසර ගණනක් සිරගතව සිටීම නිසා ඔවුන්ගේ ධෛර්යය බිඳී යාවි කියලයි. නඩු දමමින් සිරගත කර තබා ගැනීම තමයි, ඔවුන් ෂහිදුල්ලාට දඬුවම් දෙන ක්‍රමවේදය..“

ඇයට අනුව ගතවූ වසර 5 ක කාලය තුළ බංග්ලාදේශයේ මාධ්‍යවේදීන් 1200කට අධික සංඛ්‍යාවක් මේ අන්දමින් ‘සැක පිට‘ නිහඬ කර තිබේ. ඔවුන්ට පැවරූ නඩු අතරින් 400 ක් තවමත් ඇසෙමින් පවතියි.

බංග්ලාදේශයේ ද ලංකාව ද ඇතුළුව ආසියාවේ බොහෝ රටවල මෙන් නඩු බොහෝ කල් ඇදෙයි. සැක පිට (චෝදනා නගමින්) අත්අඩංගුවට ගත් අයෙකුට නඩු විභාගය අවසන් වන තෙක් එනම් නිදහස් කරන තෙක් හෝ දඬුවම් ලබන තෙක් වසර ගණනක් බන්ධනාගාර ගත වී සිටීමට සිදු වේ.

නොවැම්බර් 15 වැනිදා ඇප ලැබීමෙන් අනතුරුව ඔහුගේ නීතීඥයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ‘‘ඔහුගේ වයස, සෞඛ්‍ය තත්වය සහ සිර මැදිරියේ ඔහු ගත කළ කාලය සලකා බලා“ ඔහුට ඇප ප්‍රදානය කළ බවයි. නමුත් විය යුතුව තිබුණේ එයද?

මේ වන විට බංග්ලාදේශයේ ෂේක් හසීනා පාලනය, ප්‍රජාතන්ත්‍රවිරෝධී ICTA හි 57 වගන්තිය ඉවත් කිරීම වෙනුවට, වඩාත් ප්‍රයෝගකාරී හා මර්දනකාරී පනතක් 2018 සැප්තැම්බරයේදී සම්මත කළේය. එය හඳුන්වන්නේ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ පනත (Digital Security Act) යනුවෙනි. එමගින් ඩිජිටල් අවකාශයන් හා සමාජ ජාලයන් අධීක්ෂණය කිරීමට ආණ්ඩුවට අනිසි බලයක් ලැබේ. පාලක පක්ෂයට අගුණ අන්තර්ගතයක් සමාජ ජාලයක පළ කළහොත් අවුරුදු 7 ක් දක්වා එම පරිශීලකයාව හෝ ඩිජිටල් රචකයාව සිරගත කිරීමට පවා එයින් පාලකයන්ට බලය ලැබේ.

ඇප මත නිදහස් වී සිටියද ෂහිදුල් අලාම් ඊළඟ නඩු වාරයේදී නැවත ‘ඇතුළට යාමට‘ ද ඉඩ ඇත. නඩුව දිගටම ඇසෙනු ඇත. නඩුව දිගටම ඇදෙනු ද ඇත. ෂේක් හසීනලා විසින් තව තවත් ෂහිදුල්ලා හෙට දිනයේ කූරු ගැනීමට යවනු ඇත. එවිට ෂහිදුල් වෙනුවෙන් නැවතත් ලෝකයට #freeShahidul යනුවෙන් සංවිධානාත්මකව අරගල කිරීමට ද සිදුවනු ඇත. සැබවින්ම දැන් ඇප මත සිටින්නේ ෂහිදුල් නොව බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි