×

මවගේ මෘත දේහය බයිසිකලය මත තබාගෙන සැතපුම් ගානක් ඇවිදගිය තරුණයෙක්

සරෝජ්ගෙන් ඇසූවිට රැගෙන යන මිනිය කාගෙදැයි..? සරෝජ්ගේ කෙටි පිළිතුර "ඒ මගේ මවයි"



මෙම සෝචනීය කතාන්දරයට අදාළ 17 හැවිරිදි සරෝජ් හා 45 හැවිරිදි ජාන්කී සිංහානියා (මව) ජීවත්වුනේ ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ කර්පබහාල් නම් ගම්මානයකය. ජාන්කීගේ සැමියා සුන්දර්ඝර් දිස්‍ත්‍රික්කයේ පදිංචි කරුවෙක් වන අතර සරෝජ්ට වයස අවුරුදු හතක් සැපිරීමත් සමඟම ඔහූගේ අභාවය සිදුවිය. ඉන්පසු ආයෙමත් ජාන්කී තමාගේ උපන්ගම වන කර්පබහාල් වෙත පැමිණ බොහෝ දුක සේ තම දුව හා පුතාව හදාවඩාගෙන තිබේ.  දිය රැගෙන ඒම සදහා ළිඳට ගිය අවස්ථාවේ පය ලිස්සා වැටීමෙන් ජාන්කී මියගොස් තිබුණේ පහුගිය 17 වෙනිදාය.


මවගේ අවසන් සංස්කාරක ධර්මයන් ඉටු කිරීමේ වේලාව පැමිණ තිබිණ. නව යොවුන් වියේ පසුවන සරෝජ් තමාගේ දෙපසත් අවටත් බැලූයේ, ඔහූගේ සහායට කිසිවෙක් හෝ පැමිණ සිටීද කියා දැනගැනීමටයි. නමුත් ගම්මානයේ එකදු අසල්වැසියෙක්වත් සරෝජ්ට සහාය දීමට ඉදිරිපත් වී සිටියේ නැත. ඊට හේතුව ඔඩිස්සා ප්‍රාන්තය යනු ඉන්දියාවේ කුලවාදය  මත විශාල ජනතාවක් පීඩා විඳින ප්‍රදේශයකි. සරෝජ් සහ එම පවුල අයත් වන්නේද එම ප්‍රාන්තයේ කිසිඳු පිළිගැනීමක් නොමැති පහත්යැයි සම්මත කුලයකටය. එනයින් ඔවුන්ට උරුම වී තිබුණේ බැලමෙහෙවරකම් කරමින් එදාවේල සරි කරගැනීමේ ජීවන රටාවකි. ඒ හැර කිසිවෙක් ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් නොවෙති.

අවමංගල්‍ය කටයුතු සදහා රැගෙන යාමේදී මෘත දේහය, හිසේ සිට පා ඇඟිලි තෙක් රෙදි කඩකින් ආවරණය කළ යුතුය. එහිදී හිස කොටස සුදු පැහැ පිරිසිදු තුවායකින් එතීම චිරාගත සම්ප්‍රදායයි. නමුත් සරෝජ් සතුව එවැනි තුවායක් තිබුණේ නැත. මවගේ අවසන් කටයුතු කරගැනීමට අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් අසරණ සරෝජ්ට කිසිඳු අනුකම්පාවක් හිමිවූයේ නැත. පිරිසිදු තුවායක් නැතිනම් කිලිටි තුවායක් හෝ ලබාදෙන මෙන් කළ ආයාචනයද අසල්වැසියන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. අවසානයේ සරෝජ්ට සිදුවූයේ මවගේ මුළු සිරුරම නිවසේ තිබූ පරණ රෙදිවලින් එතීමටය.

එම අවස්ථාවේ ඉතා අසරණව උන් සරෝජ්ට කළ හැකිව තිබූ එකම විකල්පයනම් මවගේ මල සිරුර ගමෙන් බැහැරට ගෙනයාම පමණි. මල සිරුර බයිසිකලය මත හරස් අතට තබිය හැකි පරිදි ලැගේජයට ලෑලි තබා ගැටගැසුවේය. එය හරියට ලැගේජය උඩ ඇති බංකු සැකිල්ලක් හා සමානය. ඉන්පසු සරෝජ් තම මවගේ මෘත දේහය එම බංකු සැකිල්ල මත තබා, ගැස්සී නොවැටෙන ලෙස නැවතත් ලණුවකින් ගැටගැසුවේය. 

ගම්මානයෙන් ඔබ්බට දිවෙන අබලන් පටු මාර්ගය ඔස්සේ ගමන් කරන්නට වූ සරෝජ්ගේ සිතෙහි දෝලනය වන සිතුවිලි ගැන ඔබට සිතාගත හැකිනම් දැන් ඔබේ දෑස් තෙත් වී තිබිය යුතුය. නමුත් සරෝජ්ට ඒ ගැන කිසිදු සිතුවිල්ලක් තිබුණේ නැත. ඔහූට තිබුණේ කටෝර මාර්ගය ඔස්සේ බයිසිකලය සමබරව පදවාගෙන යාමේ අවධානය පමණි. එම අවධානයෙන් මිදී සිතුවිලිවලට ප්‍රතිචාර දක්වන්න තරම් හොඳ මානසික මට්ටමක ඔහූ සිටියේ නැත. අඩුම තරමේ සරෝජ්ට ඔහූගේ අඩිය ලිහිල් බොරළු පොළොව හා ගැටෙද්දී සීරෙන හඬවත් ඇසුණේ නැත..

සරෝජ් තම පාපැදිය තල්ලු කරගෙන ඉදිරියටම ඇදුණි. මාර්ගයේ ගමන්ගන්නා කිසිවෙක්  සරෝජ්ගෙන් ඇසූවිට රැගෙන යන මිනිය කාගෙදැයි..? සරෝජ්ගේ කෙටි පිළිතුර “ඒ මගේ මවයි” 
මවට සොහොන් බිමක් සොයාගිය ගමනාන්තයේ අවසානය වූයේ එක් ලඳු කැළෑවක් අභියසය. ඒ වනවිට ඔහූ කිලෝමීටර් පහක් පමණ බයිසිකලය තල්ලු කරගෙන පැමිණ ඇත. කෙසේ වෙතත් එම ලඳු වනය සරෝජ්ගේ මවගේ සදාකාලික නින්ද උදෙසා යහන්ගැබක් වීම තවත් එක් අතිශය ස්වභාව ධාර්මික ගිවිසගැනීමක් පමණි. මන්ද යත් මෙවැනි පුවතක් ඉන්දියාව තුළින් අපට අසන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එසේම මින් ඉදිරියට ද ඇසෙණු ඇත.

සරෝජ්ගේ මෙම කතාවෙන් ඔබ තේරුම්ගත යුත්තේ එම කුලවාදයෙන් සමාජයට වන අනිසි බලපෑම් ගැනය. නැතහොත්  කුලවාදය සමාජයෙන් අතුගා දැමිය යුත්තේ ඇයිද කියාය. නමුත් ඉන්දියාව හා සැසදීමේදී ලංකාව ගැන අපට සතුටුවිය හැකි කරුණක් වන්නේ, කුලය යම්තාක් මට්ටමකින් සමාජයේ පැවතුනද මිනිසෙකුට අවසන් ගෞරවය අහිමි කිරීමට තරම් තුච්ඡකමක් අප සතුව නොමැතිවීමයි. පවත්නා ජනවාර්ගික ගැටළුවද නිරාකරණය කරගත හැකිනම් ලක්බිම තරම් සුන්දර දිවයිනක් තවත් ලොව සොයාගත නොහැකිය.


|චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි