×

ගවයන්ගේ ගෙළ සිදුරු කර ලේ බී- උණු අළුවලින් තුවාළ පිරිමදින අසිරිමත් අප්‍රිකාව BBC Planet Earth

ඔවුන් අප්‍රිකාවේ සංචාරක එඬේරුන් ය. ඔවුහු බැබුන් වානරයන් ව දඩයම් කරති. එළදෙනුන්ගේ මුත්‍රාවලින් හිසකේ පාට කරන ඩයි සාදති.


ඔවුහු හෙල්ලවලින් දඩයම් කරති. කෙන්යාවේ හැදී වැඩුණු අයකුට සාම්බුරු ගෝත්‍රයේ එඬේරන් ද ටැන්සානියාවේ හැස්ඩා නමැති ගෝත්‍රික දඩයම්කරුවන් ද නුපුරුදු විය නොහැකි ය. පුරා වසර 40ක් තිස්සේ අප්‍රිකානු මහද්වීපය කාචගත කරන හැරී කුක් හට තිබෙන ලොකුම වාසිය එයයි. ඔහුගේ අත්දැකීම් ඇසුරෙන් නිෂ්පාදනය කළ Photographing Africa යනුවෙන් වාර්තා චිත්‍රපටයක් ද පසුගියදා බීබීසී නාළිකාව ඔස්සේ විකාශය විය.
———————————————————————
සමකය පෙනෙන මානයට උතුරින් රිෆ්ට් නිම්නයේ දිවි ගෙවන සාම්බුරු ගෝත්‍රිකයන් වඩාත් නෑකම් කියන්නේ උතුරු අප්‍රිකාවේ මසායිවරුන් හට ය. බැටළුවන්, එළුවන් සහ ඔටුවන් ඔවුන්ගේ ජීවිතවලින් වෙන් කළ නොහැකි කොටස් ය. අල, මුල්, එළවළු සහ කිරි ඔවුන්ගේ ප්‍රධාන කෑම වර්ග වේ.

ඔවුන් මස් කන්නේ ඉතා ඉඳහිට ය. උත්සව අවස්ථාවන්හි දී පමණි. එහෙත් ගවයන්ගේ ගෙළ යට කුඩා සිදුරක් විද, ඒ සිදුරෙන් වෑස්සෙන ලේ ධාරාව කෝප්පයකට එක් රැස් කර පානය කිරීමට ඔවුන් රුසියෝ ය. කෝප්පය පිරුණු වහාම ගෙළ යට තුවාලය උණු අළුවලින් පුරවා වසනු ලැබේ.

දිනක් දෙකක් ගත වන විට එම තුවාලය ද සහමුලින් ම සුව වී යයි. ගෙළ පමණක් නොව උරහිස ද වැසෙන සේ විසල් වෛවර්ණ වළලු පැලඳ සිටින සාම්බුරු ගැහැනුන්ගේ මුහුණු එවිට සතුටින් දිලිසේ.

මේ කතුන් සිය ජීවිත කාලයට ම තම මඩ වැකුණු පැල්පතේ සිට සැතපුම් සියයක් පමණ දුරක්වත් ඈතට යන්නේ නැත. එහෙත් සාම්බුරු පිරිමින් එසේ නොවේ. ඔවුන් කැමති නම් නයිරෝබි හෝ වෙනත් විසල් නගරවල කම්කරු රැකියාවලට යා හැකි ය.

කෙන්යාවේ සහ ටැන්සානියාවේ වෙසෙන මිලියනයක් වන මසායි ගෝත්‍රිකයෝ ස්වාහිලි බස මෙන්ම ඉංග්‍රීසි බස ද යම් තරමකට දනිති. සෙරන්ගිටි සහ මසායි මාරා වැනි ජනප්‍රිය වන රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල දිවිගෙවන්නේ ඔවුන් ය.

ඔවුහු පිරිමියකුගේ ධනවත්කම නිවෙසේ සිටින දරුවන් ගණනින් සහ ගව පට්ටියේ සිටින ගවයන් සංඛ්‍යාවෙන් මනිති. නිතර නැවුම් තණබිම් සොයමින් සංක්‍රමණය වන හෙයින් අර්ධ එඬේරුන් වශයෙන් ද හඳුන්වාදිය හැකි ය.

මේ අතර දකුණුදිග සුඩානයේ වෙසෙන මුන්ඩාරි ගෝත්‍රිකයෝ තවමත් එඬේරුන් ය. ජුබා අගනුවරින් සැතපුම් 75ක් පමණ නුදුරින් පිහිටා ඇතත් සංවර්ධනයේ සෙවණැල්ලක්වත් මේ ජනයාගෙන් බහුතරයක් වෙත සමීප වී නැති සෙයකි. ඔවුන්ගේ මුළු ජීවිතය ගව මහීෂාදීන් ය.

සරුවට වැවෙන අං සහිත ගවයන් නියඟය සහ දුර්භික්ෂය නිසා කලින් කලට කෙසඟ වී යතත් උන්ව හදාවඩා ගැනීම හැර මේ මිනිසුන්ට වෙනත් විකල්පයක් නැත. හිස කේ රත් පැහැ කරන බ්ලීචිං වර්ගයක් ගවයන්ගේ මුත්‍රාවලින් සැදීමට ඔවුහු ශූරයෝ ය.

තනිකර මඩින් තැනූ, කොළ සෙවිලි කළ පැල්පත්වල මුන්ඩාරි කතුන් වෙසෙන්නේ බියෙන් සහ සැකයෙනි. දකුණු දිග සුඩාන සන්නද්ධ අරගලයට තමන් මැදිහත් වේ යැයි බිය නිසා ඔවුහු හැකි තාක් දුරට හෙල්ල, තෝමරවලින් සන්නද්ධ ව සිටීමට වගබලා ගනිති. සතුරු යුයර් ගෝත්‍රිකයන් හෙල්ල තෝමරවලට වඩා ගිනි අවිවලට හුරුවී ඇති බව ද ඔවුහු දනිති.

එහෙත් කෙන්යාවෙන් සහ උගන්ඩාවෙන් හමුවන තුර්කානා ගෝත්‍රිකයන් පවසන්නේ වෙනස් කතාවකි. ඔටුවන් ඇතිකිරීමට සහ වෛවර්ණ කූඩා විවීමට අති මහත් සමත්කමක් දක්වන ඔවුන් සවස් කාලයට වෛවර්ණ සැප පුටුවල වාඩි වී කල්ගත කරන ආකාරය දැකගත හැකි ය.

සාපේක්ෂව සැපවත් ජීවිත ගත කරන නමුත් දහවලේ දී හැකිතාක් වෙහෙස වී දහදිය හෙළන්නට ඔවුහු අමතක නොකරති.

රටවල් 48කින් සමන්විත අප්‍රිකාව හෙවත් අඳුරු මහද්වීපය සිත වසඟකරන්නේ යැයි ඡායාරූප ශිල්පියා කියයි. හැරී කුක්, මේ අන්ධකාරයේ තිබෙන සැළෙන බව ද හොඳීන් අත්දකින්නෙකි. ‘සියල්ල වේගයෙන් වෙනස් වෙනවා. හෙට තිබෙන්නේ අද තිබෙන අප්‍රිකාව නොවෙයි” යැයි ඔහු කියයි.

එහෙත් හැරී ට අනුව කුමක් වෙනස් වුවත් මේ ගෝත්‍රිකයන් සිතන පතන ආකාරයේ වැඩි වෙනසක් සිදුවී නැත. උදාහරණයක් වශයෙන් මසායි ගෝත්‍රිකයන් ගනිමු. ඔවුන්ගෙන් අතිබහුතරය තවමත් මළවුන් වළදමන්නේ නැත. ඒ, මළ මිනී වළ දැමීම පසට කරන නිග්‍රහයක් ලෙස සලකන නිසා ය.

එනිසා මසායි ගෝත්‍රිකකයන් මිය ගිය විට ඔවුන්ගේ මළ සිරුරු ගිජුලිහිණියන්ට කෑම පිණිස එළිමහනට විසි කර දැමේ. එවැනි නිගරුවක් කළ නොහැකි යැයි හැඟෙන නිසා ගෝත්‍රික නායකයන් පමණක් මිය ගිය පසු භූමදානය කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි