×

සැවානාවේ මරණයේ කුංච නාදය- BBC Planet Earth Series

හිටිවනම සැවනාව පිසගෙන සුදු පැහැ දූලි වළා නැගේ. ඒවා අති දැවැන්ත ය. හරියට ඇමරිකානු මහාද්වීපයන් හි ඇතිවන, හසුවන සෑම දෙයක් ම සුණු විසුණු කරමින් නැගෙන ටොනේඩෝ කුණාටු සේ ය.


සැවනා තණබිම් හි මේ විපරිතය සිදුවන විට ක්ෂණික අවදානම ට ලක්වන්නෝ අලි ඇත්තු ය. මෙබඳු දුහුවිලි කුණාටු, ළඟකදී තෙතමනය හෝ ජලය නොලැබෙන බවට සාක්ෂියකි. දිය පානය කිරීමේ අවශ්‍යතාවය හෝරාවක් හෝරාවක් පාසා ඉහළ නගියි. එනිසා උහු මේ දුහුවිලි කුණාටු ඇති වන විට සැවනා තණබිමෙහි ඈත ඉම වෙත පියමං කරති. එක පෙළකට සිය ගණන් බැගින් දිය බෙණ සොයායන මේ ගමන උන් ට සොඳුරු නැත. ඉරි තැලුණු මුඩු තණබිම හරහා දිනකට සැතපුම් සිය ගණනක් ඇවිද යාම ට තරම් වේගයක් මේ විසල් ශරීර වෙත ලබාදෙනුයේ පිපාසාව නමැති උත්තේජනය විසිනි.

නමුත් දිය බෙණය ද එකම අවදානම් කලාපයකි. මේ අසීරු කාලයේ දිය බෙණ අවට අතිශයින් ම ජනාකීර්ණ ය. සෑම සතෙකු ම පිපාසාවෙනි. නරකම දෙය වන සා පිපාසාවෙනි. එහි අරක් ගෙන සිටින්නෝ සිංහයෝ ය. ආගන්තුක දැවැන්තයන් දිය බෙණයට පැමිණෙන සෑම විටෙකම උහු නොසන්සුන් වෙති. විටෙක සිංහයෝ දළකාරයන් වෙත කඩා පනිති. තවත් විටෙක සිංහයන් රංචුවක් ම සිටිනු දැකීමෙන් තරමක් කෝපයට පත්වන ඇතෙක්, පොළොවේ අඩි හප්පා-දළ සොළවා උන් ව බියගන්වන්නට තැත්කරයි. සමස්තයක් ලෙස ගත්විට තත්වය සාමකාමී ය. දහවළ ට දිය බෙණයේ රජ කරන්නේ දළ ඇතුන්ගේ අණසක යි.

telegraph.co.uk

telegraph.co.uk

නමුත් බියකරු රාත්‍රියේදී තත්වය කණපිට හැරෙයි. මෙය දිය කඩිත්තට රාත්‍රිය උදා වන විට බලතුලනයේ සිදුවන වෙනසකි. එය සිදුවන්නේ ද ස්වභාවික සංසිද්ධි සමග එක් ව අනුපිළිවෙළකට ය. මුලින් ම වැසි නැතද සැවානාව ට ඉහළ රාත්‍රී අහස අකුණු හඬින් පිරී යයි. එවිට දියකඩිත්ත අසල ලැගසිටිනා සිංහයෝ වහා අවදි වී ඈත මෑත බලති. දිවා රෑ වෙනසක් නැතිව-තවමත් පෝලිම් සැදී දිය කඩිත්ත හෙවත් දිය බෙණය වෙත ඇදෙන පිපාසිත අලි ඇතුන් මේ ආලෝකයෙන් උන්ගේ නෙත ගැටේ. එවිට දහවල් පැමිණි දළ කාරයන් තමන් ට කළ කෙණහිලිකමක් සිංහයන්ගේ සිත ට නැගෙන්නා සේ ය. රාත්‍රියට සිංහයන්ගේ ඇස් හොඳින් පෙනේ. එයට සාපේක්ෂ ව සිහිල් පරිසරය නිසා දිය බෙණය වෙත ඉවෙන් මෙන් ඇදෙන අලි ඇතුන්ගේ පෙනීම ඉතා දුර්වල ය. එය මනුෂ්‍යයාගේ රාත්‍රී පෙනීමට වඩා හොඳ වන්නේ මද වශයෙනි. විටෙක අලි ඇත්තු මේ ඇස් නොපෙනෙන අකරතැබ්බය හේතුවෙන් සිංහයන්ගේ හැපේපෙති. බඩගිනිකාර සිංහයෝ එපමණින් පවා කුපිත වෙති. උන්ගේ කුසගින්න ඇතුන් ට ද දැනෙන්නා සේ ය. ඇත්තු ආත්මාරක්ෂාව උදෙසා කලබල වෙති. පිඹගෙන ගොස් සිංහයන් ට පහර දීම ට තැත් කරති.

Kariega Game Reserve

Kariega Game Reserve

සිංහයෝ මුලින් සැකමුසු ව පසුබසිති. කෝපයට පත් ඇතාගේ මග හරස් නොකර පසෙකට වී හිඳිති. නමුත් ඉන්පසු පහර දීම සඳහා සංවිධානය වෙති. සිංහ බසින් එකිනෙකා සමග යම් යම් දේ කොඳුරා ගනිති. ගොරවති. කෝපාග්නියෙන් හුස්ම හෙළති. දැන් උන්ගේ නිදිමත පළාගොසිනි. සිංහයෝ සාමාන්‍යයෙන් වනයේදී ඇතුන් ව දඩයම් නොකරති. නමුත් මේ වියරු වැටෙන කාලගුණයේදී උන්ගේ සිතිවිලිවලට ද වියරු වැටෙයි.

සිංහයෝ ඇත් රංචුව ට කුරුමාණම් අල්ලති. කුඩා ඇත් පැටවුන් සෑම රංචුවකම වේ. පැටවුන් හැමවිටෙකම පහසු ඉලක්කයකි. කළ යුත්තේ නිවැරදි වේලාව බලා නිවැරදි කුරුමාණම ඇල්ලීම පමණි. මේ අතර සිංහයන් එකෙක් හෝ දෙන්නෙක් ඇඟට පත ට නොදැනී ඇත් රංචුව අතර ට රිංගා යති. කෑලි කැපිය හැකි ගනඳුරේදී ඇතුන්ගේ පෙනුම සාතිශය ලෙස දුර්වල ය. නමුත් උන්ට නැවතත් අනතුර ඉව වැටෙයි. උහු හැකි පමණිකන් ඇත් පැටවා වටකර ගනිති. බිඳ දැවිය නොහැකි අති දැවැන්ත සහ අළු පැහැති ජීව තාප්පයක් පැටවා වටා ඉදි කරති. හොඬයෙන් දුහුවිලි ගෙන සිය විරෝධය පාමින් එකී දුහුවිලි සිංහයන් වෙත පිඹති.

ScienceBlogs

ScienceBlogs

පැටවා දඩයම් කර ගත නොහැකි නම් සිංහයන් ඊළඟට උත්සාහ කරන්නේ රැහෙන් හුදෙකලා වූ විශාල ඇතෙකු සිටීදැයි සොයාබැලීමට ය. එවැනි අවාසනාවන්තයෙකු වී නම් සිංහයෝ විසි තිස් ගණනක රංචුවක් ඇතා වෙත ඇදෙයි. ඉන්පසු ඌව වටකර ගැනෙයි. මෙවිට ඇතා ට පණබේරාගත හැක්කේ ඌ අති මහත් දැවැන්තයෙකු නම් පමණි. එය එසේ නම් පමණක් සිංහයෝ ඌ වෙත කඩා පැනීම ට බිය වෙති.

නමුත් හුදෙකලා ඇතා අති දැවැන්තයෙකු නොවී සාමාන්‍ය ප්‍රමාණයේ හෝ කුඩා ඇතෙකු නම් ඇසින් දුටුව ද විශ්වාස කිරීම ට පසුබට වන ‘සිංහයන් විසින් ඇතෙකු පණ පිටින් කා දැමීමේ’ දුක්බර, ජුගුප්සාජනක හා දරාගැනීමට අපහසු දුර්ලභ සංසිද්ධිය ට මේ සැවානාව සාක්ෂි දැරිය යුතු ය.

මෙයද සිදුවන්නේ සිද්ධි රටාවකට අනුව ය. ඇස් පෙනීම දුර්වල ඇතා ට බොහෝ විට සිය ප්‍රමාණය පිළිබඳ හැඟීමක් නැත. මුලින් අසරණයා සිතන්නේ දහවලදී මෙන්ම සිංහයන් බියකර පළවා හැරිය හැකි බවයි. ඒ නිසා ඇතා නොපෙනෙන අඳුරේ ආපසු හැරී සිංහයන් ට පහර දීම පිණිස දුවගෙන එයි. මේ නිසා ක්‍රමයෙන් ඌ සිය රැහෙන් තවදුරටත් මග ශැරෙයි. එවිට සිංහයෝ එම සංඥාව මනාව වටහා ගනිති.

ප්‍රතිඵලය වන්නේ සිංහයන් රංචුව ඇතා පසුපස හඹායාම පටන් ගැනීමයි. ඇතා ලුහුබැඳීම අතහැර පළායාම පටන් ගනියි. මෙවර ඌ තවත් වැරැද්දක් කරයි. ඇතා දුවයන්නේ අන්ධකාර ව නය තුළ ට ය. කුසගින්නෙන් වියරු වැටී සිටින සිංහයන්ගෙන් දැවැන්තයා ට කිනම් ගැළවීමක් ද? ඇතැම් සිංහයෙක් දුවයන ගමන් ඇතාගේ පිටට පනියි. දත්වලින් උගේ තට්ටම්වල එල්ලෙයි. කුඩා ඇතා වේදනාවෙන් කුංචනාද දෙමින් තවත තවත් වනය තුළට ම දුවයයි. වියළි අහසේ හෙණගෙඩි පුපුරයි. කරකියා ගත හැකි දෙයක් නොමැති ව දිය බෙණයේ ඉවුරේ අසරණ ව බලාසිටිනා ඇත් සගයන්ගේ සෙවණැලි එයින් ඇඳී මැකී යයි. මේ වන විට සිංහයන් දස දෙනෙක්වත් අසරණ දැවැන්තයාගේ මරු නිලයන් තුළ ට සිය රුදුරු දත් බස්සවා අහවර ය. එක් නිමේෂයක අසරණයා මේ වේදනාව තවත් ඉහිළිය නොහී බිම ඇදී දිගා වෙයි. ඉන්පසු වෙව්ළ වෙව්ළා නිසල වෙන්නට වෙර දරයි. දැන් සිංහයන් තිස් දෙනාම පණ අදින දැවැන්තයාගේ සිරුර මත ය. උන් ට එය සතියකට සෑහෙන මහා රස බොජුනකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි