×

මොන්ගෝලියානු මුවෝ: තණපත් අතර සැඟවී ජීවිතය සොයන්නෝ – BBC Planet Earth Series

තණබිම් වනාහී මහා විවෘත තැනිතලා ය. අසීමිත හිස් අවකාශ ය. දස දෙස පැතිර තිබෙන්නේ අත්‍යන්ත නිහඬතාව යි. එහෙත් ඒ හිස් බව ඇස් බැන්දුමකි. මායාවකි.


මිහිමත ඇති තැනිතලා, පෘථිවියේ දැවැන්ත ම වන ජීවි එක්රැස්වීම් සඳහා තෝතැනි සදයි. එහෙත් තැනිතලාවක හදවත තනන්නේ එහි වසන අසංඛෙය්‍ය වූ වන ජීවීන් විසින් නොවේ. එක් තනි හරිත ජීවියකු විසිනි.

ඒ නම් තණකොළ හෙවත් තෘණ ය.

මේ අරුම පුදුම ශාකය විසින් පෘථිවි භූමියෙන් හතරෙන් එකක් ම ආවරණය කරයි. මහා තැනිතලා ඒවායින් සුසැදුණු විට ඒවා මහා තණබිම් නම් වේ.

වනාන්තරයක් බිහිවීම ට තරම් වර්ෂාපතනය ප්‍රමාණවත් නොවූ විට, ඒ සුළු වැස්සේ ප්‍රතිඵලයක් ලෙස කොතැනක වූවත් තණබිම් බිහිවිය හැකි ය. එසේ ඇතිවන තණ බිම්වලින් සමහරක් අතිශය දැවැන්ත ය. මධ්‍යම ආසියානු ස්ටේප්ස් පමණක් එපරිද්දෙන් පෘථිවියෙන් තුනෙන් එකක ඉඩක් වසා පැතිර තිබේ.

උදාවී තිබෙන්නේ ගිම්හානයයි. රාජාලියෝ උණුසුමෙන් පලායාමට සිතා ආයාසයකින් තොරව ම වේගයෙන් පියඹා යති. ඒ අතර ම පහළ තණබිමෙහි ගොදුරක ලකුණක් හෝ වේදැයි විමසිලිමත් වෙති. ඇතුළු මොන්ගෝලියාව ට අයත් මහා තණබිම් හි වසරකට වරක් අතිදැවැන්ත වනජීවි සංක්‍රමණයක් සිදුවේ. මේ මහා සත්ව සංක්‍රමණයට මහා වාර්ෂික පලායාම යැයි ද සත්ව විද්‍යාඥයෝ කියති. රාජාලීන්ට මේ කාලයේ දී කෑමෙන් අහේනියක් නැත.

මොන්ගෝලියානු මුවන් කිසි අනතුරක් නැතිවත්, ලෝකය කඩාවැටෙන්නට එන්නා සේ නොනැවතී පලායන්නෝ ය.

උන් ලක්ෂ දෙකක් පමණ මොන්ගෝලියානු තැනි තලාවල වෙසෙතැයි කියවේ. එහෙත් එක තැනක හිඳ පුරුද්දක් මේ සිහින් දෙපා ඇති අහිංසකයන්ට ඇත්තේ ම නැත. උන් වසරෙන් වැඩි කාලයක් ගත කරන්නේ නොනැවතී පලායාම සඳහා ය.

ඒ අතරම, අවුරුද්දකට එකම එක වතාවක් සන්සුන් ව එක්තැන් වීම සඳහා ද උහු මෙහි පැමිණෙති.

එසේ පැමිණ ඊළඟ දින දහය ඇතුළත පැටව් බිහි කරති. වෙනත් වචනවලින් කියන්නේ නම් එසේ පැමිණෙන ගේසල් මුවන්ගෙන් අති බහුතරය ගැබ්බර මුව දෙනුන් ය. උන් වටකරගෙන ආරක්ෂාව සපයන්නෝ පිරිමි ගේසල් මුවන් ය.

මුවා වෙන්නටත් තණකොළයක් මිස ගසක හෙවණැල්ලක් හෝ නැති මෙවැනි විවෘත තණබිමකදී, මුව පැටවුනට කිරි දිය හැකි හොඳම ක්‍රමය එබඳු රංචුවකට පැටවා මැදිකර ගැනීමයි. එවිට පිරිමි සතුන්ගේ පමණක් නොව සහචර මුව අම්මලාගේ ඇස් ද අදිසි සතුරන් වෙත යොමුවේ. මේ සේනාවේ ඇස් වසා ගොදුරු ගසා කන්නන් ට ඇහිපිල්ලමක් පවා ගැසිය නොහැකි හෙයින් පැටවුන් සුරැකේ.

තුරුලතා නොමැත. පඳුරු කිසිත් නැත. සැඟවීමටත් තැනක් නැත. එකම ආවරණය තණපත් පමණි. එනිසා මුවෝ ඒ තණපත් අතර දිගාවෙති. එයින් සෙතක් නොසැලසෙනවා වන්නට පුළුවන. එහෙත් වෙන කුමක් කරන්නද…?

මුවන් වැනි අහිංසකයන්ට පමණක් නොව තණබිම් හි සැරිසරනා විලෝපිකයන් ට ද දරුවන් හදා වඩා ගැනීම සහ රැකබලා ගැනීම සැබෑම අභියෝගයකි. තුරුලතා නොමැති හෙයින් රාජාලීන් ට පවා බිත්තර දැමීමට සිදුවන්නේ විවෘත තණබිමෙහි ය. එවිට කුඩා රාජාලි පැටවුන් ට ද මව එනතෙක් සතුරන්ගේ දෙනෙත්වලට මැදිවෙමින් කල් මැරීමට සිදුවේ.

සාමාන්‍යයෙන් මහා තැනිතලාවක වෙසෙන සියලු ජීවීහු යම්කිසි හෝ අන්තරායාකට මුහුණ දෙති. ගිම්හාන උණුසුම, වර්ෂාව පමණක් නොව කලින් කලට මහා තැනිතලාවේ ඇති වන ගිනිජාලා ද උන් ට අභියෝග වේ. එවිට උහු හිස් ලූ ලු අත පලා යති. ගැබ්බර මුව දෙනුන්ට හෝ ළපටින් වටකර ගත් මුව පවුල්වලට කියා වෙනසක් එහි නැත.

මොන්ගෝලියානු මුවන් සොබාදහමේ අසිරිමත් මැවුමකි. උන් ඉපදී තිබෙනුයේ දුවන්නට ම දැයි වරෙක සිතන තරමට උන් මේ කාර්යයට උපතින් ම දක්ෂ ය. කුඩා මුව පැටව් පවා ගිනි කණ වැටුණු විට මහා පලායාම සැනෙකින් ආරම්භ කරති. එසේ නොවුණහොත් අසුරු සැනින් පැතිරෙන මහා ගිනිජාලාව ට තමන් කොටුවන බව උහු ඉවෙන් දනිති.

මේ හුදෙකලා තණබිම ට කිසිවකු විසින් ගිනි තබනවා නොවේ. සෑම වසරකම මහා මොන්ගෝලියානු තණබිම් ගිනි ගන්නේ සොබාදහමේ තවත් එක් සංසිද්ධියක් නිසා ය.

එනම්, වියළි තණපත් මතට අකුණු පූංජයන් විසින් විසිකර දමන ගිනිදළු නිසාය.

එහි ප්‍රතිඵලය වන්නේ පැය කිහිපයක් හෝ ඇතැම්විට දින කිහිපයක් මුළුල්ලේ බුර බුරා නගින මහා ගිනිජාලාවකි.

ඒ ගිනි දළු නිවී ගිය පසු තණබිමක් සොයා ගන්න ට නැත. ඉතිරිව ඇත්තේ, එකම අළු සහ අඟුරු ගොඩක් පමණි. ඉගිලී හෝ පළා යා නොහැකි වන සෑම දෙයක් ම මහා ගිනි ජාලා විසින් පරිභෝජනය කර දමා තිබෙන අයුරු එවිට දැකිය හැක. බෙලහීනයෝ ද පලායාමේ වේගය හීන මහලු සහ දුබල සතුන් ද පමණක් අඟුරු වූ තණබිම මත ඇටකටු ලෙසින් ශේෂවී ඇති අයුරු එවිට දැකිය හැක.

එනිසා කිසි විවාදයකින් තොරව, මොන්ගෝලියානු මුවන් වාසනාවන්තය. දුවන්නට ම උපන් උන්ගේ සිහින් සවිමත් දෙපා විසින් උන් ව බොහෝවිට අග්නි විපත්වලින් මුදාගනියි. මහා ගින්නට මහා තණබිම ගොදුරු වූ හැම විටෙකම උහු මේ දුක්බර වියෝගය හැරපියා නව තණබිමක් සොයායාම ආරම්භ කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි