×

ලෝකයේ ධනවත්ම මිනිසාගෙන් CNN පුවත් සේවයේ මාධ්‍යවේදියෙකුට සහ ලෝකයේ කුසගිනි නිවන්නෙකුට ඩොලර් මිලියන 100 බැගින් !

ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ජෙෆ් බෙසොෆ් CNN පුවත් සේවයේ මාධ්‍ය වේදී වැන් ජෝන්ස් සහ ලෝකයේ කුසගිනි නිවන්නෙකු වන ජොසේ ඇන්ඩ්‍රිස් හට ඇමරිකානු ඩොලර් මිලියන 100 බැගින් තෑගි කිරීමට තීරණය කර තිබේ.


මෙම පරිත්‍යාගය සිදු කරමින් ඇමසන් ප්‍රධානියා සඳහන් කළේ එක්කෝ ඔවුන්ට ඒවා සිය පුණ්‍ය අරමුදල් වෙත බැර කළ හැකි බවයි. නැතිනම් කැමති දෙයක් කළ හැකි බවයි.

ජෙෆ් බෙසොෆ් පසුගියදා පෘථිවියේ අද්දරටම පියාසර කර ආපසු පැමිණියේය. ඔහු පසුව සඳහන් කළේ එසේ පැමිණි පසුව මෙම මුදල් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළ බවයි. මෙම මාධ්‍ය සාකච්ඡාව සහ ත්‍යාග මුදල් ප්‍රදානය ඔහු විසින් සිදුකළේ ද අජටාකාශ ඇඳුමෙනි.

Courage and Civility Award යනුවෙන් තමන් විසින් අලුත අරඹන මානව හිතවාදීත්වය වෙනුවෙන් කරන මෙහෙවර වෙනුවෙන් මෙම පරිත්‍යාග සිදුකරන බව ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජෙෆ් බෙසොෆ් හෙළි කර සිටියේය.

බෙදුණු ලෝකයක එක්සත්ව සිටීමේ ධෛර්යය විදහා දැක්වීම වෙනුවෙන් මෙම ත්‍යාගය ලබාදෙන බව ද ඔහු පැවසුවේය.

CNN මාධ්‍ය වේදී වැන් ජෝන්ස් පැවසුවේ, මිනිසුන්ගේ සිහින ඇතැම්විටදී සැබෑ වන බව‘ යි. මෙය දැනගත් විට කතා කර ගත නොහැකි තරම් සතුටක් ඇති වූ බව ද ඔහු කීවේය.

වැන් ජෝන්ස්

 

කළු ජාතිකයෙකු වන වැන් ජෝන්ස්, CNN පුවත් සේවයේ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන අතර, විශේෂ දේශපාලන මාධ්‍ය ආවරණ සිදුකරන්නේ ද ඔහු විසිනි. එහිදී ජාතිවාදය සහ වර්ගවාදය පිටුදකිමින් හැසිරීම ඔහුගේ විශේෂ ලක්ෂණයක් සේ සැලකේ.

ජොසේ ඇන්ඩ්‍රියස්

ස්පාඤ්ඤ ජාතිකයෙකු වන ජොසේ ඇන්ඩ්‍රියස්, World Central Kitchen නමැති ලාභ නොලබන ආයතනයේ ප්‍රධානියා ය. ඔහු කෝකියෙකු මෙන්ම හෝටල්කරුවෙකු ද වේ. ඔහු මෙම මුල පිරීම හරහා ස්වභාවික විපත්වලට ගොදුරු වන මිනිසුන්ගේ කුසගින්න නිවීමට අති දැවැන්ත මෙහෙයක් සිදු කරමින් සිටියි. මීට පෙර ඔහු හිටපු ජනපති බරාක් ඔබාමා අතින් ද සම්මානයට පාත්‍ර වී ඇත. වරක් ජාත්‍යන්තර ටයිම් සඟරාවේ කවරය ද ඔහුගේ රුවින් සැරසී තිබිණි.

ජෙෆ් බෙසොෆ්ගේ ධනය මානව හිතවාදිත්වය වෙනුවෙන් වැය නොකරන බවට මීට පෙර ඔහුට චෝදනාවක් එල්ල වී තිබිණි. කෙසේ නමුත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ගතවූ අවුරුදු වලදී දේශගුණික විපර්යාස සහ ආහාර බැංකු (Food Banks) වැනි සංකල්ප වෙනුවෙන් ඔහු ඩොලර් බිලියන ගණනක් වැය කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි