×

සංක්‍රාන්ති ප්‍රජාවට ගරහන ඇමරිකානු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ කටවල් බයිඩන් සදහටම වසයි!

LGBT+ තරුණ ප්‍රජාව සුරක්ෂිත කිරීමට විධායක නියෝගයක් ජනපති බයිඩන් ගෙන්..


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා තරුණ LGBT+ ප්‍රජාව ආරක්ෂා කිරීමට අදාළව විධායක නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඉකුත් සතියේ මෙම විධායක නියෝගය නිකුත් කර තිබෙන්නේ පසුගිය කාලසීමාව තුළ එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකම සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතා දරන තරුණ ප්‍රජාවට සෞඛ්‍ය සේවාවන් වල දී බාධක පමුණුවන අන්දමේ ගතානුගතික නීති සම්මතකර ගැනීමට ඒ ඒ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් කටයුතු කර තිබෙන පසුබිමකයි.

ඒ අනුව, මෙම විධායක නියෝගය හරහා විවිධ ලිංගික අනන්‍යතා දරන තරුණ ප්‍රජාවට ඒ ඒ ප්‍රාන්ත වලින් පනවා ඇති නීති පසුකර අදාළ සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

බයිඩන් ජනාධිපතිවරයාගේ මෙම විධායක නියෝගය හරහා, ඇමරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවට (Department of Health and Human Services – HHS) උපදෙස් ලබා දී තිබෙන්නේ, තරුණ LGBT+ ප්‍රජාවට අවශ්‍ය පූර්ණ සෞඛ්‍ය සේවාවන් ලබා දීමට පමසුකම් සපයන ලෙසයි.

මෙම නියෝගයට අදාළව එක්සත් ජනපදයේ ධවල මන්දිරය විසින් නිකුත් කළ නියෝගයක දැක්වෙන්නේ, අදාළ සේවාවන් සෞඛ්‍ය සේවාව තුළ පුළුල් විය යුතු අන්දම පිළිබඳ පැහැදිලි කර තිබෙන බවයි.

මීට අමතරව, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධ ලිංගික අනන්‍යතා දරන දරුවන්ට හිතකාමී සරල පාසල් ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන මෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීමට ද බයිඩන් ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඉකුත් කාලසීමාව තුළ ටෙක්සාස්, ෆ්ලොරිඩා වැනි ප්‍රාන්ත වල සංක්‍රාන්ති සමාජභාවී ‍යෞවනයන්ට තම සංක්‍රාන්තියට අවශ්‍ය සේවාවන් සෞඛ්‍ය සේවය තුළ තහනම් කරමින් සහ ප්‍රාථමික පාසල් වල ලිංගිකත්වය සහ සමාජභාවය පිළිබඳ ඉගැන්වීම තහනම් කරමින් නීති සම්පාදනය වීම සිදුවිය.

ඒ අනුව එරට LGBT+ දරු පරපුර ආරක්ෂා කර ගැනීමට ඇමරිකානු ෆෙඩරල් රජය විසින් ඉහත ක්‍රියාමාර්ගය ගෙන තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි